හිස සහ අත් පා බෑගයේ තිබී හමු වූ මාධ්‍යවේදිනියගේ අනුවේදනීය කතාව

 10/12/2017 - 11:38
169 reads

එක්තරා මාධ්‍යවේදිනියක මුහුණ දුන් බිහිසුණු ඉරණමක් පිළිබඳ කතාවක් මේ දිනවල ලෝකයේ ජනමාධ්‍ය විශාල අවධානයක් දිනාගනිමින් සිටිනවා.

කිම් වෝල් නම් ස්වීඩන් ජාතික 30 හැවිරිදි ඇය ගාඩියන්, නිව් යෝක් ටයිම්ස් වැනි සුප්‍රකට මාධ්‍ය ආයතන හා සම්බන්ධවද කටයුතු කර තිබෙනවා.

මෙම මාධ්‍යවේදිනියගේ ඇය මුහුණ දුන් අවාසනාවන්ත ඉරණම පිළිබඳව මුල්වරට වාර්තා වූයේ පසුගිය අගෝස්තු මාසයේ මැද භාගයේයි.

අගෝස්තු 10 වෙනි දින කිම් වෝල් කිසියම් විශේෂ මාධ්‍ය කටයුත්තක් සඳහා පීටර් මැඩ්සන් නමැත්තෙකු මුණ ගැසීමට ගොස් ඇති අතර 46 හැවිරිදි පීටර් මැඩ්සන් යනු ඩෙන්මාර්ක ජාතිකයෙකු වන අතර ඔහු විවිධ ආකාරයේ නව නිපැයුම් කරන්නෙකු ලෙස එරට ප්‍රසිද්ධියක් දිනා සිටින්නෙකි.

මෑතක ඔහු වඩාත් කතාබහට ලක්ව ඇත්තේ ඔහු විසින්ම නිපදවන ලද පෞද්ගලික සබ්මැරීනයක් නිසාය.

 කිම් වෝල් ඔහු හමුවීමට ගොස් ඇත්තේ ඔහු සහ ඔහුගේ නිපැයුම් පිළිබඳ විශේෂාංගයක් සකස් කිරීම සඳහා තොරතුරු සපයා ගැනීමට බව සඳහන් වේ.

එහිදී ඇය එදින පස්වරු 07 ට පමණ මැඩ්සන් මුණ ගැසී ඔහුත් සමග ඉහත කී සබ්මැරීනයේ නැගී ඩෙන්මාර්කයේ කොපන්හේගන් හි වෙරළ ආසන්න ස්ථානයකින් පිටත් වී තිබෙනවා.

ඔවුන් දෙදෙනා සබ්මැරීනය මත සිටින අයුරු පෙන්වන  ඡායාරූපයක් ඒ අසලින් යාත්‍රා කරමින් තිබූ නැවක සිටි කෙනෙකු විසින් ගනු ලැබ ඇති අතර ඒ පස්වරු 8.30 ට පමණ යයි ද සඳහන්.

ඔවුන් දෙදෙනා එකට සිටිනු දුටු අවසන් අවස්ථාව එය බවයි වාර්තා වන්නේ.

එයින් පසු කිම් වෝල් පිළිබඳව කිසිදු තොරතුරක් දැනගන්නට ලැබී නොමැති අතර ඇය ගැන තොරතුරක් නොමැති විට ඉන් කලබලයට පත් වූ ඇගේ පෙම්වතා පසුදින මේ පිළිබඳව ‍පොලිසියට දැනුම් දීමට පියවර ගෙන තිබෙනවා.

‍පොලිසිය ඇයත්, මැඩ්සනුත් ගමන් ගත් සබ්මැරීනය කොහේදැයි සෙවීමට මෙහෙයුමක් දියත් කර ඇති අතර සාමාන්‍යයෙන් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ මෙවැනි යාත්‍රා තිබෙන තැන් සොයා ගත හැකි ක්‍රමවේද තිබුණත් මැඩ්සන්ගේ සබ්මැරීනයට ඊට අදාළ උපාංග සවි කර නොතිබුණෙන් එය ඇත්තේ කොහේදැයි සොයා ගැනීම සඳහා අදාළ අංශවලට ලොකු වෙහෙසක් දරන්නට සිදු ව තිබෙනවා.

අවසානයේ සබ්මැරීනය දුටු බැව් පැවැසූ ප්‍රදීපාගාරයක නිලධාරීන් දුන් තොරතුරු අනුව එය තිබූ ඉසව්ව ගැන හෝඩුවාවක් ලබා ගන්නට හැකි වී තිබෙනවා.

එයින් පසුව සන්නිවේදන උපකරණ හරහා මැඩ්සන් සම්බන්ධ කරගැනීමටද ආරක්ෂක අංශවලට හැකි වී ඇති අතර එයින් ටික වේලාවකට පසු සබ්මැරීනය ගිලෙන්නට පටන් ගෙන තිබෙනවා.

වහා පියවර ගත් ආරක්ෂක නිලධාරීන් ඒ වෙත ළඟා වී එහි සිටි පීටර් මැඩ්සන් ගලවා ගැනීමට සමත්ව ඇතැයි සඳහන්.
(සබ්මැරීනය වුවමනාවෙන්ම ගිලී යන්නට සැලැස්වූවාද යන සැකයක්ද මේ වනවිට පවතී).

කෙසේ නමුත් කිම් වෝල් ඒ වනවිට සබ්මැරීනයේ සිට නැති අතර මේ පිළිිබඳව මැඩ්සන්ගෙන් විමසීමේදී ඔහු මුලින් පවසා ඇතැයි සඳහන් වන්නේ තමා ඇය එක්තරා ස්ථානයකින් බැස්ස වූ බවයි.

ඉන්පසු විමර්ශන නිලධාරීන් ඔහු ඇය බැස්ස වූවා යයි පැවැසූ ස්ථානය අවට වූ ආරක්ෂක කැමරාවල සටහන්ව තිබූ දර්ශන නරඹා ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

නමුත් එම කැමරාවල සටහන් වී තිබූ තොරතුරු ගැන ඔවුන් ප්‍රසිද්ධියට පත් කර තිබුණේ නැහැ.

පසුව මෙම නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ පීටර් මැඩ්සන් සිද්ධිය සම්බන්ධයෙන් අලුත් කටඋත්තරයක් ලබා දී ඇති බවයි.

එම ප්‍රකාශයට අනුව පැවැසුණේ කිම් වෝල් සබ්මැරීනය තුළදී බරපතළ අනතුරකට මුහුණ දුන් බවත් කිලෝග්‍රෑම් 70 ක් පමණ බර යමක් ඇගේ හිස මත ඇද වැටීමෙන් ඇය  මරණයට පත් වූ බවත්ය.

පසුව තමා ඇයගේ සිරුර මුහුදේ හෙලූ බවත් මැඩ්සන් පවසා ඇති බව කියැ වෙනවා.

මෙම ප්‍රකාශයෙන් පසු තවත් විවිධ සැක කටයුතු හෝඩුවාවන් මතු වීමට පටන්ගෙන ඇති අතර අගෝස්තු 21 වෙනි දින වෙරළාසන්න ප්‍රදේශයක යමින් සිටි බයිසිකල්කරුවෙකුට හිස සහ අත්පා නැති මළ සිරුරක් දැකගන්නට ලැබී ඇතැයි සඳහන්.

මෙම සිරුර පිළිබඳව ජාන පරීක්ෂණයක් සිදු කළ විමර්ශකයන්ට සොයා ගත හැකි වූයේ එය කිම් වෝල්ගේ මළ සිරුර බවයි.

එයින් පසුව මේ සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට පියවර ගන්නා ලද අතර මාධ්‍යවේදිනියගේ හිස සහ අත්පා වුවමනාවෙන්ම කපා දමා ඇති බව මේ අනුව අනාවරණය වී තිබෙනවා.

 ඇගේ  පපුව සහ ලිංගේන්ද්‍රිය ආසන්නයේද පිහියකින් කරන ලද කැපුම් පහරවල් දැකිය හැකි අතර ඒවා ඇය මියයාමට මොහොතකට පෙර හෝ ඉන් මොහොතකට පසු සිදු කරන ලද ඒවා බවද මරණ පරීක්ෂණයෙන් අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වේ.

මේ ආකාරයේ කැපුම් පහර 15 ක් පමණ ඇගේ සිරුරේ ඇති අතර මෙම බිහිසුණු සිදුවීම් මාලාවේ අලුත්ම සොයා ගැනීම පිළිබඳව වාර්තා වූයේ පසුගිය සතියේය.

එනම් ඔක්තෝබර් 06 වෙනි දින ‍පොලිස් කිමිදුම්කරුවන් පිරිසක් කිම් වෝල්ගේ සිරුරු කොටස් හමු වූ ස්ථානය ආසන්නයේ මුහුදෙහි පරීක්ෂා කිරීම් කරමින් සිටින අතර බරැති ලෝහ කැබලි ගැටගසා, උඩට මතු නොවන ලෙස දියෙහි ගිල්වා තිබූ බෑගයක් සොයා ගන්නට ලැබී තිබෙනවා.

පසුව එතුළ තිබි ඔවුන්ට හමු වූයේ සිරුරෙන් වෙන් කරන ලද කිම් වෝල්ගේ හිස, අත් පා ඇතුළු කොටස් වන අතර මෙම කොටස්ද පසුව පරීක්ෂණයට බඳුන් කර ඇතැයි සඳහන්.

එහිදී තවත් වැදගත් කරුණක් අනාවරණය කරගැනීමට විමර්ශකයන්ට හැකි වී ඇති අතර ඇයගේ හිස් කබලට තුවාල සිදුව නැති බවයි.  

සබ්මැරීනය තුළ සිදු වූ අනතුරකින් ඇය මිය ගිය බවට මැඩ්සන් විසින් කියන ලද කතාවද මේ අනුව සැකයට භාජනය වී තිබෙනවා.
 
කාන්තාවන් පණ පිටින් සිටියදී ඔවුන්ගේ අත් පා කපා වධ දෙන අන්දම පෙන්වන විඩියෝ ඛණ්ඩ සහිත දෘඪ තැටියක් සම්බන්ධයෙන්ද තොරතුරු පලවී තිබේ.

විමර්ශන අංශ පවසා ඇත්තේ එම තැටිය මැඩ්සන්ට අයත් එකක් යයි සැක කරන බවයි.

නමුත් එය තමාට අයත් එකක් නොවන බව ඔහු පවසා ඇතැයි සඳහන්.

පීටර් මැඩ්සන් මේ වනවිට අත්අඩංගුවේ පසුවන අතර කිම් වෝල්ගේ මරණය සම්බන්ධ පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙමින් ඇති අතර ඇයගේ මරණයට හේතුව තවමත් නිශ්චිත වශයෙන් ප්‍රකාශයට පත්ව නැත.
 
උපුටා ගැනීම - ලක්බිම (කිත්සිරි මල්වත්ත)

news24.lk
News24
sri lanka news 24
24 news