වෙරළේ දුම්බීම තහනම්

 10/12/2017 - 10:35
86 reads

තායිලන්තයේ වෙරළ තීරයන්හි දුම්බීම තහනම් කරමින් එරට අධිකරණය නියෝගයක් පනවා ඇති බව වාර්තා වනවා.

මෙම නීතිය කඩකරන්නන්ට වසරක කාලයක් දක්වා සිරදඬුවමක් හෝ ඩොලර් 3850ක දඩයක් නියම වන බවයි බලධාරීන් ප්‍රකාශ කරන්නේ.

නොවැම්බර් මස 01 වනදා සිට මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

වෙරළ තීරයන්  20ක් සඳහා මෙම නීතිය ක්‍රියාත්මක වන අතර සංචාරකයින් අතර ජනප්‍රිය වෙරළ තීරයන් කිහිපයක්ද මෙයට ඇතුලත් වන බව තායිලන්ත වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියි.

තායිලන්තයේ මුහුදු වෙරළ දැඩි ලෙස අපවිත්‍ර කරමින් සිගරට් කොට සිය දහස් ගනනින් දිනපතා එකතුවීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදු වූ බවයි ඔවුන් කියා සිටින්නේ.

පරිසර සංවිධාන පවසන්නේ වෙරළින් එකතුවන සමස්ථ අපද්‍රව්‍ය ප්‍රමාණයෙන් තුනෙන් එකක්  සිගරට් කොට වලින් සමන්විත වන බවයි.

පැටොං වෙරළ පිරිසිදු කිරීමේදී 2.5kmකින් සිගරට් කොට 138000ක් ඔවුන්ට හමුවී තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදි මෙම නීතිය සියලුම වෙරළ තීරයන්ට ක්‍රියාත්මක කිරීමට ද තායිලන්ත රජය බලාපොරොත්තු වන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

 උපුටාගැනීම - ද සිඩ්නි මෝනිං හැරල්ඩ්

news24.lk
News24
sri lanka news 24
24 news