ළමා මනාලියක් සමග ලිංගිකව එක්වීම දූෂණයක්

 10/12/2017 - 06:40
132 reads

පුරුෂයෙකු, ඔහුගේ බාල වයස්කාර බිරිඳ සමග ලිංගික කටයුතුවල යෙදීම දූෂණයක් ලෙස සලකනු ලබන බව ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

එය ඉන්දියාවේ බාල වයස්කාර විවාහ සම්බන්ධයෙන් දෙනු ලැබූ ඓතිහාසික තීන්දුවක් ලෙස සැලකේ.

ඒ අනුව සිය අභිමතයෙන් තොරව ලිංගික සංසර්ගයේ යෙදෙන්නේ නම් වසරක් ඇතුළත ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ස්වාමිපුරුෂයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බාල වයස්කාර මනාලියකට අවස්ථාව හිමි වේ.

ඉන්දියාව තුළ සිය අභිමතය පරිදි ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීමට සහ විවාහ වීමට කාන්තාවකට නීතියෙන් අවසර හිමි වන්නේ වයස අවුරුදු 18න් පසුවයි.

නමුත් විවාහක දූෂණය අපරාධයක් වශයෙන් නොසැලකේ.

ඉන්දියාව තුළ ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් පවතින නීතියේ අඩංගු වගන්තියකට අනුව සිය බිරිඳ අවුරුදු 15 ඉක්මවූ අයෙකු නම් ඇය සමග ලිංගික කටයුතුවල යෙදීමට පුරුෂයෙකුට හැකියාව පවතී.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනු ලැබූ ඉහත කී තීන්දුව කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සහ කාන්තා ක්‍රියාකාරීනියන්ගේ ප්‍රසාදයට ලක් වී තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

එනමුත් ළමා විවාහ විශාල වශයෙන් සිදු කෙරෙන ඉන්දියාවේ එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම අපහසු වනු ඇති බව ඇතැම්හු ප්‍රකාශ කර සිටිනවා.

"මෙය, ගැහැණු ළමුන්ට එරෙහිව සිදු වූ ඓතිහාසික වැරැද්දක් නිවැරදි කෙරුණු අධිකරණ තීන්දුවක්. ගැහැණු ළමයි නොසලකා හරින නිර්ණායකයක් වශයෙන් විවාහය යොදා ගන්නේ කොහොමද?" යනුවෙන් අදාළ නඩු විභාගයේ ප්‍රධාන පෙත්සම්කරුවෙකු වූ 'නිදහස් සිතුවිලි' නමැති සංවිධානයේ වික්‍රම් ශ්‍රීවාස්තව කියා සිටින්නේ.

සෑම වසරකම, ශ්‍රී ලංකාවේ සිය ගණනක් බාල වියේ මුස්ලිම් දැරියෝ සිය දෙමාපියන් හෝ භාරකරුවන් විසින් බලහත්කාරයෙන් විවාහ කර දෙනු ලබනවා.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news

Comments