වැල්ලවාය පොලීසිය නඩු වලින් තියපු වාර්තාව මෙන්න

 10/10/2017 - 16:02
91 reads

වැල්ලවාය පොලිසිය බීමත් රියදුරන් සහ වෙනත් රථ වාහන නඩු වලින් වාර්තාවක් තියන්නට සමත්ව තිබෙනවා.

ඒ අනුව වැල්ලවාය පොලිසිය විසින් පසුගිය සැප්තැම්බර් මස 01 වනදා සිට ඔක්තෝබර් 01 වනදා දක්වා කාලය ඇතුළත බීමත් රියදුරන් 60 දෙදෙනකුට සහ වෙනත් රථ වාහන වැරදි කල පුද්ගලයන් 1263 දෙනෙකුට නඩු පවරා තිබෙනවා.

වැල්ලවාය පොලිස් ඉතිහාසයේ එක් මසක් තුල අත්වඩංගුවට ගත් වැඩිම බීමත් රියදුරන් ගණන මෙය වන අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දඩ මුදල් වශයෙන් රුපියල් ලක්ෂ 05 ඉක්මවූ දඩ මුදල් නියම කර ඇතැයි ද සඳහන්.

විවිධ රථ වාහන වැරදි සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයන්ටද රුපියල් ලක්ෂ 06කට ආසන්න මුදලක් දඩ මුදල් ලෙස නියම වූ බව වැල්ලවාය පොලිසිය පවසනවා.

මෙම තත්ත්වය නිසා ගිය වසරේ මේ මස වන විට මාරක රිය අනතුරු 12ක් ප්‍රදේශයේ සිදු වී නමුත් මේ වසරේ ගත වූ මාස 09ට  සිදු වී ඇත්තේ මාරක රිය අනතුරු 03ක් බව පොලිසිය කියයි.

මෙම මෙහෙයුම් ඉදිරියේදී ද අඛණ්ඩව සිදු කරන බව වැල්ලවාය පොලිසිය කියා සිටින අතර මෙම මෙහෙයුම් මොනරාගල කොඨඨාශ භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් පරිදි වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො ප ටී.එම් ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රථ වාහන අංශයේ ස්ථානාධිපති පො.ප විජේසුන්දර මහතා ඇතුළු රථ වාහන පොලිස් නිළධාරින් සිදු කර ඇත.

news24.lk
News24
sri lanka news 24
24 news