නිල්මිණීගේ ජීවිතයේ අලුත් වෙනසක් ළඟදීම

 10/10/2017 - 10:31
559 reads

රංගන ශිල්පිනියක් ලෙස මෙන්ම ව්‍යාපාරිකාවක් ලෙස කටයුතු කරන නිල්මිණි තෙන්නකෝන් තරමක් කාර්යබහුල ජීවිකාවකට හිමිකම් කියනවා. වර්තමානයේ රූපවාහිනි ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන තත්ත්වය ගැන නිල්මිණිට තිබෙන්නේ සැබෑ ම දුකක්. ඒ දුක හංගාගෙන කටයුතු කරන ඇය මේ වන විට රූපලාවන්‍ය කටයුතු වලට මුල් තැන දෙමින් වැඩ කරන බවයි සඳහන් වන්නේ. ඇය සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වමින් සිය කලා කටයුතු මෙන්ම පෞද්ගලික ජීවිතය සම්බන්ධව තොරතුරු කියා සිටින්නේ මෙලෙසයි.

“ඇත්තටම මට නිවාඩුව කියන දේ අඩුයි. මගේ දරුවාගේ වැඩ, සැලෝන් එකේ වැඩ, වැඩසටහන්වල වැඩ, රූගත කිරීම් ආදී දේ නිසා මා ගත කරන්නේ බොහොම කාර්යබහුල ජීවිතයක්. එක වෙලාවකට මම දිග හුස්මක් අරගෙන සෙටියට ඇදගෙන වැටෙනවා. ඒ මට බොහොම මහන්සි නිසයි. මොකද සෑම වැඩකටම දුවන්නේ මමයි. දුවට, අම්මා කෙනෙකු විදියට මා මගේ අතින් ඉටුවිය යුතු සියලු ම දේ ඉටු කළ යුතුයි. ඇගේ තනි නොතනියට සිටිය යුතුයි. අද සමාජයේ භයානක පැත්තක් තිබෙනවා. ඒ සඳහා මා ඈට රැකවරණය දිය යුතුයි. මේ සියලු දේ කරලා හවස් වනවිට මට මහන්සියක් දැනුණත්, ආපස්සට හැරිලා බලද්දි මට දැනෙන්නේ සතුටක්.”

නිල්මිණිගේ පුංචි කාලය ගෙවුණේ බොහොම සැහැල්ලුවෙන්. ඈට වුවමනා වෙලාවට පාඩම් කළා. පොත්වල වැඩ කළා. පාසලේ බාහිර වැඩවලට සම්බන්ධ වුණා. ක්‍රීඩා කළා. ගස් නැඟ්ඟා. බයිසිකල් පැද්දා. අයියාත් එක්ක තාප්ප උඩින් පැනලා පන්ති ගියා. ගඟේ පැනලා නෑවා. ඒක බොහොම සුන්දර අතීතයක්. නමුත් වර්තමානයේ ළමුන්ගේ තත්වය වෙනස් වී ඇතැයි ඇය කියා සිටින්නේ.

“ඒත් වර්තමානයේ ළමයින්ගේ කාලය ගෙවෙන්නේ වෙනස් ම විදියටයි. අප ගෙව්ව වගේ සුන්දර අතීතයක් දැන් ළමයින්ට ඇත්තේ නැහැ. ඒ අතීතයේ සිදුවුණු සුන්දර දේවල් ගැන මේ ළඟදිත් මා ස්වේතා දුවට පැවසුවා. ඒත් අපේ ළමයින්ට ඒ වගේ නිදහසක් ඇත්තේ නැහැ. පාසල් වැඩ වුණත් බොහොම වැඩියි. ඔවුන් ඒ වෙනුවෙන් බොහොම මහන්සි වෙනවා. ඒ වුණත් ස්වේතා දුව දුවගේ කටයුතු තනිවම කර ගන්නයි පුරුදු වී සිටින්නේ. පාසලේ නිල ඇඳුම වුණත් සෝදා ගන්නේ ඇයමයි. ඇගෙන් මට කිසිම කරදරයක් ඇත්තේ නැහැ. බොහොම කීකරු දරුවෙක්. බොහොම දැනුවත් දරුවෙක්. ජීවත් වීමට මා වන මහන්සිය ගැන ඈ දන්නවා. ආගම දහමට නැඹුරු කරලයි මා ඈ හදාවඩා ගෙන තිබෙන්නේ. එවැනි බොහොම යහපත් දරුවකු ලැබීම සතුටට කරුණක්.”

සුන්දර රූ සපුවකට හිමිකම් කියන නිල්මිණි ඒ ගැන ද අදහස් දැක්වුවා.

“මම හිතන්නේ මගේ ආහාරවල ඉඳන්, මා බොන වතුර වීදුරු ගණන දක්වාත්, රූපලාවණ්‍ය ගැනත් මා බොහොම උනන්දුයි. ඒ සියල්ලේදීම දේශීයත්වයට මුල්තැන දෙමින් සියලු දේ සමබර කර ගැනීමත් සුන්දරත්වයට බලපානවා. ඒ වගේ ම සිතේ සතුටත් තමන්ගේ සුන්දරත්වයට බොහොම බලපාන බවයි මට නම් හැඟෙන්නේ. කුහකකම් නොකිරීම, ආගමට දහමත් සමඟ හොඳීන් කටයුතු කිරීමේදී සියල්ල හොඳීන් සිදුවේවි.”

අලුත් වැඩකට මුලපුරන්නට බලා සිටින ඇය ඒ ගැන ද ප්‍රකාශ කර තිබෙනවා.

මා මෙතෙක් පැමිණි ගමනේ ඉගෙන ගත් දේ බොහෝයි. ‍ඩී.බී. නිහාල්සිංහ මහත්තයාගෙන් අධ්‍යක්ෂණය ගැන බොහෝ දේ ඉගෙන ගත්තා. පොතපතින් ඉගෙන ගත් දේත් ඒ වගේමයි. ඒ නිසා මට අධ්‍යක්ෂණයට පිවිසෙන්න බියක් දැනෙන්නේ නැහැ. මේ තාක් කාලයක් මා ඒ කටයුත්ත පසුකළේ මගේ දියණියගේ විභාග කටයුතු නිසයි. ඒ සියලු කටයුතු අවසන් නිසා ළඟදීම ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂණ කටයුතු ආරම්භ කිරීමටයි මා අදහස් කරගෙන සිටින්නේ.”

මේ අතර ලයිසියම් ජාත්‍යන්තර පාසලට යන දියණිය ස්වේත මන්දාකිණී දැක්වුයේ මෙවන් අදහසක්.

“මම පාසල් ගිහින් ආවට පස්සේ මුලින්ම පාසල් කටයුතුයි අවසන් කරන්නේ. ඊට පස්සේ අම්මාට නිවෙසේ කටයුතුවලට උදවු වෙනවා. ඒ රෙදි නවලා, ගේ අස්පස් කිරීම වගේ දේවල්වලින්. කවදා හරි මා සම සම්බන්ධ පර්යේෂණ කරන විද්‍යාඥවරියක් වන්න කැමැතියි. රඟපාන්න නම් කැමැති නැහැ. ඒ වගේ ම මම අම්මාට ගොඩක් ආදරෙයි. එයා මට යාළුවෙක් වගේ.”

news24.lk
News24
sri lanka news 24
24 news