දුමින්ද-අනුරාධ නූලෙන් බේරෙයි

 10/09/2017 - 19:24
344 reads

එක්වෙමු - නැගිටිමු අටු කොටු පුරවමු ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණේ කැකිරාව තිබ්බටුවැව වෙල් යාය පරිශ්‍රයේදීය. කොළඹ සිට මෛත්‍රී අනුරාධපුරයට පැමිණ තිබුණේ හෙලිකොප්ටරයෙනි. අනුරාධපුරයට පැමිණ මෛත්‍රී පිළිගැනීමට පැමිණියේ දුමින්ද දිසානායක ඇමැතිවරයාය. ඔහු සමග පී. හැරිසන් ඇමැතිවරයාත් අනුරාධ ජයරත්න ඇමැතිවරයාත් පැමිණ සිටියහ.
වෙල් යායට පැමිණි මෛත්‍රී පිළිගත්තේ ගොවියෙක් හා ගෙවිලියකි. එතැනට ස්වාමීන්වහන්සේලා හා ගොවීන් පැමිණ සිටි දුටු මෛත්‍රී උත්සව සභාවට යාමට පෙර ඔවුන් අතරට ගියේය. එතැනට පැමිණි අය තමන්ගේ ගැටලු ගැන සඳහන් කරමින් ලිපි ජනාධිපතිවරයාට භාරදීමේ අපේක්ෂාවෙන් පසුවූහ. ඔවුන්ගේ ගැටලු ගැන විමසූ මෛත්‍රී ඒවාට කඩිනමින් විසඳුම් ලබාදීමටද එකඟත්වය දැක්වූවේය.
“ජනාධිපතිතුමා වයඹ ඇළ ඉදිකිරීම් දැන් පටන් ගන්නවා. අපේ පැත්තට ඇනිකට් තුනක් දාලා වතුර දෙන්න” එතැනට පැමිණ සිටි චන්දිම ගමගේ මන්ත්‍රීවරයා ඉල්ලුවේය.
“ඕක ඉල්ලීමක් විදියට ඉදිරිපත් කරන්න. ලබන අවුරුද්දේ ඒකට මුදල් වෙන් කරන්නම්” මෛත්‍රී ‍පොරොන්දුවක් දුන්නේය.
උත්සව සභාවෙන් පසුව මෛත්‍රී ගොයම් පැළ සිටුවීමට ගියේය. ගොයම් පැළ සිටුවීමට තිබුණේ යන්ත්‍රයකිනි. මෛත්‍රී එක් යන්ත්‍රයකට ගොඩවූයේ එහි ක්‍රියාකරු සමගය. දුමින්ද දිසානායක හා අනුරාධ ජයරත්න අනෙක් යන්ත්‍රයට නැග්ගේය. මෛත්‍රී ඉදිරියෙන් ගොයම් පැල සිටුවාගෙන ආ අතර දුමින්ද හා අනුරුද්ධ පිටුපසින් පැළ සිටුවමින් ආවේය. ඔවුන් දෙදෙනා ටික දුරක් ඉදිරියට යද්දී යන්ත්‍රය සිරවූයේ මඩ ගොඩකය. ඔවුන් දෙදෙනා සමග පැළ සිටුවීමේ යන්ත්‍රය පෙරෙළෙන්නට ගිය අතර යන්ත්‍රයේ ක්‍රියාකරු මඩට බැස ඔවුන් දෙදෙනා සමග යන්ත්‍රය පෙරලීමට ඉඩ නොදී යළි කෙළින් කරගත්තේ විශාල පරිශ්‍රමයක් දැරීමෙන් පසුවය. මොවුන් දෙදෙනා මඩට පෙරලීමෙන් බේරෙන්න උත්සාහ ගනිද්දී මෛත්‍රී වට දෙකක්ම ගොස් ගොයම් පැළ සිටුවූවේය.
ඉන් පසුව ගෙවිලියන් පැමිණ ඇඹුල රැගෙන ආවේය. රෙද්ද හැට්ටය ඇඳගත් ඔවුන් ඇඹුල බෙදුවේ මැටි ගෙදරකදීය. මෛත්‍රී පන් වට්ටියක් මත දැමූ නෙළුම් කොළයක ඇඹුල ගත් අතර කහට කෝප්පයක් හා හකුරු සංග්‍රහයක්ද විය. මෛත්‍රී අසල තිබූ ‍පොල්කට්ටක් අතට ගෙන හකුරු කෑල්ල සමග කහට කෝප්පය රස වින්දේය.

news24.lk
News24
sri lanka news 24
24 news

Comments