සමලිංගික විවාහයට අගමැතිගේ කැමැත්ත

 09/11/2017 - 12:51
217 reads

සමලිංගික විවාහය නීතිගත කිරීම සඳහා සහයෝගය පළකරමින් ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් ඇතුළු දේශපාලන නායකයින් ජනතාව ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියානු විවාහ නීතිය සංශෝධනය කරන ලෙස ඉල්ලමින් 20,000කට අධික පිරිසක් සිඩ්නි නුවරට රැස්ව ඇතැයි සඳහන්.

මෙහිදී කිසිවෙකු බලාපොරොත්තු නොවූ අවස්ථාවක අගමැති මැල්කම් ටර්න්බුල් ජනතාව ඉදිරියට පැමිණ, සමලිංගික විවාහය නීතිගත කිරීමට තම සහයෝගය ලැබෙන බවට ප්‍රකාශයක් කර තිබෙනවා.

ඉන් අනතුරුව ඊට සහයෝගය පළ කරමින් ඔස්ට්‍රේලියාවේ විපක්ෂ නායක බිල් ශෝටන් ද රැළිය අමතා ප්‍රකාශයක් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සමලිංගික විවාහය නීතිගත කිරීම සඳහා ජනතාවගේ කැමැත්ත විමසා බැලෙන සමීක්ෂණ ඡන්ද පත්‍රිකාවක් ජනතාව අතර බෙදාහැරීම සැප්තැම්බර් 12 වැනිදා ආරම්භ වනු ඇත.

මෙම තැපැල් ඡන්දයේ ප්‍රතිඵලය මගින් සමලිංගික විවාහය නීතිගත කිරීමට නීත්‍යනුකුල බලයක් නොලැබෙන අතර එය කිසිදු බැඳීමකට යටත් නොවන්නකි.

නමුත් බහුතර ජනතාව ඊට කැමැත්ත පළකර ඇත්නම් ඒ සඳහා පාර්ලිමේන්තුව තුළ ඡන්ද විමසීමක් සිදුකිරීමට මග පෑදීමට ද ඉඩ තිබෙනවා.

ඔස්ට්‍රේලියානු අගමැතිවරයා රැළිය අමතමින් ප්‍රකාශ කර ඇත්තේ මේ වනවිට රටවල් 23ක් සමලිංගික විවාහය නීතිගත කර ඇති බවයි.

"ඒ එක රටක හරි මේ වෙනකොට අහස කඩා වැටිලා තියෙනවද? ජීවිත ඇනහිට තිබෙනවද? සාම්ප්‍රදායික විවාහය අනතුරට පත්වෙලා තියෙනවද? 'නැත' කියන එක තමයි පිළිතුර." යනුවෙන් අගමැති ටර්න්බුල් ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතරතුර විපක්ෂ නායක බිල් ශෝටන් කියා සිටියේ සමලිංගික විවාහය නීතිගත කිරීම සඳහා මහජන සමීක්ෂණ ඡන්දයෙන් බහුතර කැමැත්ත හිමිවනු ඇති බවට තමා අපේක්ෂා කරන බවයි.

"හැම විවාහයකටම සමාන සැලකීම් ලැබීම යථාර්ථයක් බවට පත්වනු දැකීම සඳහා අපට තරණය කිරීමට ඇත්තේ තව එක් කන්දක් පමණයි. අද අපි ඒ කන්දත් එකට එක්වී තරණය කරමු" යැයි ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

උපුටා ගැනීම - BBC

news24.lk
News24
sri lanka news 24
24 news