ගොවියන්ගේ හිතවතිය රටින් පනියි

 09/07/2017 - 09:31
392 reads

වී ගොවියන්ට සහන ලබාදීම සම්බන්ධ නඩු විභාගයක තීන්දුව ප්‍රකාශයට පත්වීමට ප්‍රථම තායිලන්තයේ හිටපු අගමැතිනි ඉන්ලුක් ශිනවත්‍රා (Yingluck Shinawatra) රටින් පලාගොස් තිබෙනවා.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙන අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටීමට මොහොතකට පෙර අනපේක්ෂිත ලෙස විදේශගත වීමට ඇය තීරණය කළ ඇති බවයි ඇයගේ පක්ෂයේ ආරංචි මාර්ග තහවුරු කර ඇත්තේ.

මේ වන විට ඇය කුමන රටක සිටින්නේ ද යන්න ඔවුහු අනාවරණය කර නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඇයට අධිකරණය ඉදිරියේ පෙනී සිටිය නොහැකි බව අධිකරණයට දැනුම් දුන් ඇයගේ නීතිවේදීහු, නඩු තීන්දුව කල් දමන මෙන් ඉල්ලා සිටිනවා.

එහෙත් ඇය අසනීපයෙන් පසුවන්නේ යැයි විශ්වාස නොකරන බව සඳහන් කළ අධිකරණය ඉන්ලුක් ශිනවත්‍රා අත්අඩංගුවට ගන්නා මෙන් වරෙන්තු නිකුත් කොට ඇයගේ ඇප මුදල ද රාජසන්තක කර තිබෙනවා.

නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සැප්තැම්බර් 27 වැනි දින දක්වා කල්තබා ඇතැයි සඳහන්.

2011 දී බලයට පත්වීමෙන් අනතුරුව සහල් සඳහා වී ගොවියන්ට වෙළෙඳ පොළේ මිල මෙන් දෙගුණයකට ආසන්න මිලක් ගෙවීමේ වැඩසටහන අගමැතිනි ඉන්ලුක් ශිනවත්‍රා ක්‍රියාවට නැගුවේ සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ ලබාදුන් පොරොන්දුවක් ඉටු කරමිනි.

එහෙත් එමගින් තායිලන්තයේ සහල් අපනයනයට දැඩි පහරක් එල්ල වූ අතර, එමගින් රටට ඩොලර් බිලියන 08කට ආසන්න පාඩුවක් සිදුව තිබෙනවා.

ආණ්ඩුවේ ගබඩාවල ගොඩ ගැසුණු සහල් විකුණා ගැනීම ද බරපතළ ගැටලුවක් බවට පත් ව ඇති අතර ඒ සම්බන්ධයෙන් මතු වූ ආන්දෝලනය හමුවේ හමුදාවේ සහාය ලත් පාර්ලිමේන්තුව 2015 දී දෝෂාභියෝගයක් මගින් ඇය බලයෙන් පහ කර තිබෙනවා.

රටට එවැනි අලාභයක් සිදු වූ වැඩපිළිවෙළ ක්‍රියාවට නැගීමේදී කිසිදු වරදක් නොකළ බව හිටපු අගමැතිනි ඉන්ලුක් ශිනවත්‍රා පවසන නමුත් වසර 02ක් මුළුල්ලේ පැවති නඩු විභාගයෙන් අනතුරුව ඇය වැරදිකරු බව තීරණය වුවහොත් ඇයට වසර 10ක් දක්වා වූ සිරදඬුවමක් විඳීමට සිදුවිය හැකි අතර, දේශපාලනයේ යෙදීම ද ජීවිතාන්තය දක්වා තහනම් විය හැකියි.

news24.lk
News24
sri lanka news 24
24 news