රහස් හොයන ලාබාලතම ලාංකික ආචාර්යවරිය

 09/06/2017 - 10:10
475 reads

ලාංකිකයින් බොහෝ පිරිසක් ලෝකයේ  විවිධ රටවල තම දක්ෂතා දක්වමින් සිටිනවා.

ඒ අතර එංගලන්තයේ අඩුම වයසින් ආචාර්ය උපාධියක් ලබාගත් තැනැත්තිය  වන්නේද ශ්‍රී ලාංකික සිසුවියක්.

වයස අවුරුදු 19ක් වන ඉයුජිනී ද සිල්වා නම් ඇය මේ වන විට කේම්බ්‍රිඩ්ජ් විශ්ව විද්‍යාලයෙන් තමන්ගේ දෙවන ආචාර්ය උපාධිය ලබාගැනීමට කටයුතු කරමින් සිටිනවා.

ඉයුජිනී තමන්ගේ උසස් පාසල් අධ්‍යාපනය නිමා කරන්නේ වයස අවුරුදු 11දී යි. ඉන් අනතුරුව තම ප්‍රථම උපාධියේ වැඩකටයුතු ආරම්භ කරන නිසාම වයස අවුරුදු 14 වන විට උපාධිධාරිණියක් වීමේ හැකියාව ඇයට  ලැබෙනවා.

මාස්ටර්ස් සඳහා වන පන්ති වලට සහභාගී වීමට අවුරුදු 13දී තීරණය කරන ඇය අවුරුදු 16 වනවිට මාස්ටර්ස් නිම කරන්නට සමත්කම් දක්වනවා.

ප්‍රථම ආචාර්ය උපාධිය සඳහා අඩු වයසින්  ලියාපදිංචි වන්නට ඉයුජිනී  තීරණය කරන්නේ ඉන් අනතුරුවයි.

ඉයුජිනී  අවුරුදු 07දී හෝප්කින්ස් විශ්ව විද්‍යාලයේ ගණිතය සහ වචන හැකියාව වෙනුවෙන් පැවැත්වෙන ප්‍රාන්ත විභාගයට පෙනී සිටින අතර එම විභාගයෙන් ඇය ඉහලින්ම සමත්වනවා.

ඒ අනුව එම ආයතනයට ඇතුලත්වීමේ හැකියාව ඇයට ලැබුණ නමුත් ඇගේ පියා වන මහාචාර්ය ඉයුජින් ද සිල්වා උපදෙස් දී ඇත්තේ උසස් පාසල් ඩිප්ලෝමාවක් තිබීම අනාගතය සඳහා ප්‍රයෝජනවත් වන බවයි.

ඉයුජිනීගේ ප්‍රියතම විෂයන් වන්නේ රහස් තොරතුරු අධ්‍යනයයි.

ඊට අමතරව නීතිය, අධ්‍යාපනය, ගෝලීය සංවර්ධනය, ගෝලීයකරණය යන ක්ෂේත්‍රයන් පිළිබඳව අධ්‍යනය කිරීමට ඇය පෙළඹෙන්නේ රහස් තොරතුරු විෂයේ ගැඹුර දකින්නට එම විෂයයන් ඉතා ප්‍රයෝජනවත් වන නිසයි.

''මගේ බලාපොරොත්තුව දෙවැනි ආචාර්ය උපාධිය සම්පුර්ණ කරලා අමරිකා එක්සත් ජනපදයට යන  එකයි.මම ඉගෙන ගත්ත අංශයෙන් අමරිකා රජයේ තනතුරක් දරන්නට මට හැකියාව ලැබේවි. '' යන්න ඉයුජිනී ගේ පැතුමයි.

ඉයුජිනී ද සිල්වා

ඉයුජිනී සිය පියා වන මහාචාර්ය ඉයුජීන් ද සිල්වා සමඟ

news24.lk
News24
sri lanka news 24
24 news