91 දී උපාධිය ගත් මිත්තනියගේ 'විභාග සමත්වූ සූත්‍රය'

 08/12/2017 - 09:34
173 reads

තුරුණු වියේදී විශ්ව විද්‍යාලයකට ඇතුළුවී  උපාධි සිහිනය සැබෑ කරගන්නට බොහෝ උදවිය වෙහෙසනවා. ඇතැම් අවස්ථාවල සැබෑ නොවූ එවන් අපේක්ෂා ද හමුවෙනවා.

වසර ගණනක් කල් යවා උපාධිය 'සරි' කරගන්න අයත් නැතිවා නොවෙයි.

ඇය කිම්ලං ජිනගුන් (Kimlan Jinakul). ඇයට සරසවි වරම් හිමිවුණේ නැහැ.  

බොහෝ කාලය ගෙවී යද්දී තමන්ගේ දරුවන්  විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර කළා.

එතෙක් කල් තුරුළු කරගෙන සිටි සිහිනය සැබෑවක් කරගන්නට ඇය තීරණය කළා. ඒ 72වන වියේදී.  

කැපකිරීමේ ප්‍රතිඵලය පසුගිය බදාදා (අගෝස්තු 09) ඇය උදා කරගත්තා.

ඒ අනුව 91වෙනි වියේදී තායිලන්ත මිත්තණිය විශ්ව විද්‍යාල උපාධිය සම්පූර්ණ කළා.

ඇය එම කඩඉම පසුකරන්නට අවුරුදු 10ක් අධ්‍යයන කටයුතුවල නිරතව තිබෙනවා.

කිම්ලං ජිනගුන් (Kimlan Jinakul)  උතුරු තායිලන්තයේ ලම්පං පළාතේ උපන්නියක්.

 කිම්ලං දක්ෂ සිසුවියක වූ අතර ඉගෙනුම ලැබුවේද  පළාතේ වූ හොඳ ම පාසලක.

නමුත් ඒ අවධියේදී විශ්ව විද්‍යාලයට ඇතුළුවීමට හැකියාවක් ලැබුවේ නැහැ.

සිය පවුල බැංකොක් අගනුවරට පදිංචියට යාමෙන් පසු විවාහවීම මත වැඩිදුර අධ්‍යාපනය ලැබීමේ සිහිනය ද අත්හැර දැමීමට ඇයට සිදුවුණා.

".....එය මාතුළ හැමදාම තිබුනත්, මට ඕනවුනේ මගේ දරුවන්ට ඉගෙනීමේ අවස්ථාව සලසාදෙන්නයි... ඒ නිසා විශ්ව විද්‍යාලයට යන්නට ඔවුන්ට ඕනෑ වූ විට මා ඔවුන්ට ධෛර්යය දෙමින් ඊට සහය දුන්නා.."

ඇය සිහිපත් කරයි.

කිම්ලං මිත්තණිය උපාධි ලැබීමේ අවස්ථාවට ඇගේ පවුලේ බොහොමයක් ද එක්වූණා.

කිම්ලං ජිනගුන්ගේ දරු පස්දෙනාගෙන් සිව්දෙනෙකු ම ශාස්ත්‍රපති උපාධි ලැබූවන්.

ඉන් එක් අයෙකු ආචාර්ය උපාධිය ලබාගැනීම සඳහා එක්සත් ජනපදයටත් ගියා.

දරුවන්ගේ ශාස්ත්‍රීය අත්දැකීම් ඇයට ද විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා යොමුවීමට මග පෑදුවා.

එක් දියණියක්  විවෘත විශ්ව විද්‍යාලයේ පාඨමාලාවක් හදාරන්නට යනවිට ඒ සමග කිම්ලං ද සිය තීරණය ක්‍රියාවට නැගීමට තීරණය කළා.

අධ්‍යයන කටයුත්ත සඳහා ඇතුළත්වන විට ඇයගේ වයස 72කි.

නමුත් ඒ අතරවාරයේදී ඈ සමග ඉගෙනීමේ යෙදුනු දියණිය  මිය ගියා.

ඒ හේතුවෙන් වසර කිහිපයකට කිම්ලං අධ්‍යයන පාඨමාලාවෙන් ඉවත්වුණා.

වයස 85 වනවිට යළිත් සිය අරමුණ වෙත යොමු වූ ඇය මානව පරිසර විද්‍යාව පිළිබඳ උපාධියකට ඇතුළත් වූවා.

"....ශෝචනීය අහිමිවීමකින් පසුව මා යොමු වුනේ මේ අධ්‍යයන කටයුත්ත නිම කරන්නයි... මෙය දකින මගේ දූගේ ආත්මය සතුටට පත්වෙතැයි මා හිතනවා..."

ඇය සඳහන් කරන්නේ ප්‍රීතිමත් ජීවිතයකට එය තමන්ට උපකාරීවනු ඇති බවයි.

වසර ගණනක ඉගෙනීම් ක්‍රියාවලිය තුළදී ඇයගේ දෛනික ජීවන රටාව වූයේ උදෑසනම අවදිවී බෞද්ධ භික්ෂුන් වහන්සේට දන් පිළිගන්වා අසල  විහාරයට ගොස් ආගමික වත්වත්වලින් අනතුරුව අධ්‍යයන කටයුතු සඳහා යොමු වීමයි.

"...කවදාවත් පරක්කු නැහැ.... ඉගෙනීම වෙනුවෙන් මගේ මනස හැමවිටම අවදියෙන්.....මේ ලෝකය නවතින්නේ නැහැ... හැමදාම අපිට විසඳන්න අලුත් ප්‍රශ්න තිබෙනවා... අලුතින් විද්‍යා ගොඩ නොනැගුනොත් ලෝකය සමෘද්ධිමත්වීම නවතීවි...."

සාර්ථකත්වයේ රහස කුමක්දැයි විමසු විට මේ මිත්තණිය පවස ඇත්තේ  අධිෂ්ඨානය මෙන්ම තමන් තුළ වූ අභිලාශය තමාව මේ දුර ගෙන ආ බවයි.

"....එක් පරිච්ඡේදයක් අවසන් කරන්නැයි මා මටම කියූ විට....එය හොඳින්ම කරන්නට මා උත්සාහ කරනවා,,, මතක තියාගන්නට අවශ්‍ය වැදගත්ම කරුණු සළකුණු කරගන්නවා.... මගේ අධ්‍යයන සමාලෝචනයේදී ඒක තමයි මට උදව් වෙන්නේ....

....සමත්වෙනකොට සතුටක් ලබනවා වගේම අසමත්වෙනකොට දුකක් දැනෙනවා.... ඉතින්, සමත් වෙනකල්ම ම විභාගයට යළි යළිත් වාඩි වුණා...

....මං හිතන්නේ නැහැ කවුරුවත් මාව රැකියාවකට ගනීවි කියලා.....මං තවදුරටත් මගේ මුනුබුරු මිනිබිරියන් බලාගන්නවා.."

කිලෝමීටර 725ක් දුර ගෙවා ඇය පවුලේ සාමාජිකයන් සමග උපාධි ප්‍රදානොත්සවයට පැමිණ සිටියා.

 

news24.lk
News24
sri lanka news 24
24 news