මගීන් 55 ක්‌ සමඟ ලයන්එයාර් ගුවන් යානාව සහ එම් අයි 24 ප්‍රහාරක හෙලිකොප්ටරයක්‌ වැනසූ කොටි මිනීමරුවන් හඳුන්වන්නේ දේශපාලන සිරකරුවන් ලෙසද?

 08/11/2017 - 13:34
255 reads

අත්අඩංගුවේ සිටි හමුදා සෙබළුන් වෙඩිතබා මරා පිලිස්‌සූ කොටිද දේශපාලන සිරකරුවන් ලෙස දක්‌වා ඇත.

එසේම බිහිසුණු අපරාධ සිදුකළ මේ කොටි මිනීමරුවන් 84 ක්‌ මෙරට බන්ධනාගාර වල සිටී.

එහෙත් එම මිනීමරුවන් නිදහස්‌ කරන ලෙස ඉල්ලමින් යාපනය සහ කිලිනොච්චියේ විරෝධතා පවත්වා තිබේ. ඊට කොළඹින් ගිය එන්.ජී.ඕ. කල්ලියක්‌ද සහභාගිවී ඇත.

මෙම කොටි මිනීමරුවන් නිදහස්‌ කළහොත් එකී අපරාධකරුවන් සිදුකළ අපරාධ නිසා විපතට පත්වූවන්ට යුක්‌තිය හිමිවේද?

බිම්බෝම්බ ඇටවීම, මිසයිල ප්‍රහාර එල්ල කිරීම, පාලම් පිපිරවීම, සිවිල් වැසියන් ඝාතනය, අත්අඩංගුවේ සිටි අයවළුන් මරා පිලිස්‌සීම වැනි ක්‍රියා සිදුකිරීම දේශපාලන ක්‍රියාවන්ද?

උතුරේ අද ඉතා සූක්‍ෂම ලෙස වැඩපිළිවෙලක්‌ දියත්වී ඇත. මිනීමරු කොටි 84 ක පිරිස නිදහස්‌ කරගැනීමට ද්‍රවිඩ සන්ධානයට හා රාජ්‍ය නොවන සංවිධානවලට අවශ්‍ය වී ඇත.

එසේම කොළඹ අධිකරණවල ඇති නඩු උතුරේ අධිකරණවලට මාරුකර ගැනීමේ මෙහෙයුමක්‌ද දියත් වේ.

මේ හැර මිනීමරු කොටි ත්‍රස්‌ත මර්දන බලධාරීන් හමුවේ සිදුකළ පාපොච්චාරණ පවා පිලිනොගෙන කොටි නිදහස්‌ වේ. එසේම ප්‍රභාකරන්ගේ මස්‌සිනාවූ සිවාජිලිංගම්ගෙන් කටඋත්තරයක්‌ ගෙන ඇත්තේ රහස්‌ පොලිසිය උතුරට යාමෙනි.

උතුරේ රාජ්‍ය ඇමැතිනි විජයකලාට රහස්‌ පොලිසිය වෙත කටඋත්තරයක්‌ දෙන ලෙස පවසා ඇතත් ඇය ඊට අවනත වී නැත.

මේ පසුබිම මැද රැදවුම්භාරයේ සිටින කොටි අපරාධකරුවන් නිදහස්‌ කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ පැවැත්වේ.

මේ වාතාවරණය මැද විශේෂ කාර්ය බළකාය විසින් උතුරේ නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධව අත්අඩංගුවට ගත් 24 ක පිරිස ගැන යාපනය මානව හිමිකම් කොමිසමට පැමිණිලි ලැබී ඇත.

ඊට සමගාමීව ද්‍රවිඩයන්ට යලි අත්අඩංගුවට ගන්නා බවට චෝදනා කරමින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙතද සංදේශ යවා තිබේ.

මෙලෙස රැඳවුම් භාරයේ සිටින කොටි අපරාධකරුවන් දේශපාලන සිරකරුවන් ලෙස හඳුන්වමින් ඔවුන්ට මුදාගැනීම සඳහා සත්‍යවේලි පියනමද ව්‍යාපාරයක්‌ අරඹා ඇත.

එස්‌ කුගදාසන් නැමැති ත්‍රස්‌තයාට කටුබැද්දේදී මගීන් 26 ක්‌ ගමන්ගත් බස්‌ රියට ක්‌ලේමෝ ප්‍රහාරයක්‌ එල්ල කිරීමේ චෝදනාව එල්ලවී ඇත.

පිලියන්දලදී මගීන් 28 ක්‌ මරුමුවට පත්වූ ලංගම බස්‌ රියට ක්‌ලේමෝ බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කිරීමේ සිද්ධියේ චූදිතයා ආනන්ද සුන්දරරාජන්ය.

අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය ගැන තබෝරූබන් රාසවලන් සහ අරවින්දන්ද රැඳවුම් භාරයේ සිටී.

ලයන් එයාර් යානාව සහ එම් අයි 24 ප්‍රහාරක හෙලිකොප්ටරය විනාශ කිරීම ගැන නිල්ලරාජා නැමැත්තාට චෝදනා එල්ල වී ඇත.

අපි මෙහිදී හෙලිකළේ බිහිසුණු අපරාධ සිදුකළ කොටි ත්‍රස්‌තයන්ගෙන් කීපදෙනෙකි.

මේ පසුබිම යටතේ ආවා කල්ලිය මතුවිය. එහෙත් කොළඹ ජනාධිපති මාධ්‍ය අංශයට රිංගාගෙන සිටින එන්. ජී. ඕ. ක්‍රියාකාරියෙක්‌ එකී සිදුවීම් කඩු සහ පිහි රැගත් තරුණ කණ්‌ඩායමක්‌ ලෙසින් හැඳින්වීමට ක්‍රියාකළේය.

එහෙත් අද අනාවරණය වී ඇති යථාර්ථය කුමක්‌ද? ඒ ආවා කල්ලිය මෙහෙයවීමට ස්‌විස්‌ටර්ලන්තයේ සිට සන්නා නැමැත්තෙකු සම්බන්ධ බවයි.

මෙයට පෙර ස්‌විස්‌ සන්තෝෂම් මාස්‌ටර් මෙරට යළි ත්‍රස්‌තවාදය ආරම්භ කිරීමට උත්සාහ කළේය. ඉන්පසු ස්‌විස්‌ කුමාර් විද්‍යා ඝාතනයට සම්බන්ධ විය. දැන් මතුවී ඇත්තේ ස්‌විස්‌ සන්නා නැමැති හිටපු කොටි ක්‍රියාකාරියායි.

උතුරේ දොර ඩයස්‌පෝරාවට විවෘත කළේ රජයයි. එම අවස්‌ථාව ප්‍රයෝජනයට ගත් කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීහු උතුරට පැමිණියහ.

එහෙත් මේ සිදුවීම් වසන් කිරීමට රාජ්‍ය නොවන සංවිධාන හා විවිධ පාර්ශව උත්සාහ කරති.

ස්‌විස්‌ටර්ලන්තයේ කොටි ඩයස්‌පෝරාවට අතිවිශාල මුදල් සම්බාරයක්‌ ඇත. එහෙත් මෙරට බලධාරිහු අන්ධයන් ලෙස ක්‍රියාකරති. පසුගිය රජයද ස්‌විස්‌ කොටි ඩයස්‌පෝරාව ගැන නිරීක්‍ෂණය කළේ නැත.
 

දිවයින - කීර්ති වර්ණකුලසූරිය

news24.lk
News24
sri lanka news 24
24 news