චැනලින් අතැර රේස් පදින දොස්තරගේ විස්තරේ

 08/08/2017 - 13:33
221 reads

ලංකාවේ ඉන්න දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් පාපැදි ක්‍රීඩාවේ දක්ෂතා දක්වන්නේ සැබෑවටම ඒ කෙරෙහි ඔහු දක්වන උනන්දුව නිසාමයි.

පාපැදියට බොහෝ සෙයින් ඇලුම් කරන මෙම වෛද්‍යවරයා මුඛ හා හනුක ශල්‍ය වෛද්‍ය (Oral and Maxillo Facial Surgeon) හර්ෂ ජයසුන්දර, මීගමුව රජයේ රෝහලේ සේවයේ යෙදී සිටියි.

"මම අයර්ලන්තයේ ඉන්න කාලේ මා සමඟ වැඩකරපු ශල්‍ය වෛද්‍යවරියක් උදේට කිලෝමීටර් 18ක් දුවගෙන තමයි වැඩට එන්නේ. මම මෙහෙ බයිසිකලයෙන් වැඩට ආවොත් පිස්සෙක් විදියට ගණන් ගනීවි. අපි ටයි දාලා වාහනයක එන්න ඕන කියලානේ බොහෝ දෙනා හිතන්නේ."

නිහතමානී වෛද්‍යවරයා සිය හඬ අවදිකරන්නේ අයර්ලන්තයේ තමා ගෙවූ ජීවිතය සිහිපත් කරමිනුයි.

"මම දිනපතාම ප්‍රයිවෙට් ප්‍රක්ටිස් කරන්නේ නැහැ. මේ ක්‍රීඩාව නිසා ඒවා ඕන නැහැ කියලා හිතුණා. මම හැමදාම වගේ උදේ 6.00 සිට 7.30 තෙක් පුහුණුවීම් කරලා ගෙදර ඇවිල්ලා තමයි මීගමුව මහා ඉස්පිරිතාලේ වැඩට එන්නේ. මම ප්‍රයිවෙට් චැනලින් කරයි කියලා මම හිතන්නේ නැහැ. සතියකට දවසක් වගේ පෞද්ගලික රෝහලකට ගිහින් සේවය කරනවා. එහෙම කරන්නෙත් මගේ වෛද්‍ය මිතුරන් මට අදාළ ලෙඩුන්ගේ ප්‍රශ්න කිහිපයක් එකතු කරලා මට කතාකරපු දවසට විතරයි. වෙන විශේෂඥ වෛද්‍යවරු කරන චැනලින් මම කරන්නේ නැහැ. ඊට වඩා මට මගේ නිදහස වටිනවා. ඒක මගේ පාපැදි පුහුණුවට බාධාවක් වගේම ලෙඩ්ඩු එනතෙක් බලා ඉන්න බැරි කම්මැලිකමකුත් මට තියෙනවා."

ගම්පහ, වතුරුගම පාසලෙන් මුලික අධ්‍යාපනය ලබා ඇති හර්ෂ මහතා 6වන ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයෙයි. පාසලේ 10 වැනි ශ්‍රේණියේ සිට උසස් පෙළ සමත්වන තෙක්ම ඔහුගේ වාහනය වී ඇත්තේ පාපැදියයි.

දිනකට කිලෝමීටර් 80ක් පාපැදි ධාවනයේ යෙදුණු ඔහු ඒ ගමන ගැන කියා සිටියේ  මෙවැන්නක්.

" වතුරුගම අපේ ගෙදර ඉදලා ඉස්කෝලෙට කිලෝමීටර් 40ක් දුර තියෙනවා. බස් එකේ යනවාට වඩා පාපැදියේ යන ගමන පහසු වුණා. බස් එකේ ගියාම පැය දෙකහමාරක් තුනක් ගත වුණා. බයිසිකලේ යන්න ගියේ පැය එකයි කාලක්. ඒ කාලේ රාජකීය විද්‍යාලයට ඒ වගේ දුරක් බයිසිකලයෙන් ආපු එකම කෙනා මම වෙන්න ඇති. බයිසිකලේ ගමනට මුලින් ගෙදරින් බාධා කළා. 1986 වසරේදී මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා. බයිසිකලේ එහේ අරගෙන ගිහින් දිගටම පැද්දා. පළමු පත්වීම ලබා නුවරඑළියට ගියාම පාපැදි ධාවනය අත්හැරීමට සිදුවුණා. පශ්චාත් උපාධිය සඳහා නැවත කොළඹට ඇවිත් විශේෂඥ වෛද්‍ය උපාධිය සඳහා 2005 වසරේදී අයර්ලන්තයට ගියා. එහි ගියාට පසු ආයෙත් බයිසිකල් පැද්දා. 2007 වසරේ ලංකාවට ඇවිත් විශේෂඥ වෛද්‍යවරයෙක් විදියට පොලොන්නරුව රෝහලේ කටයුතු කරන කාලයේ රේසිං බයික් එකක් අරගෙන පැද්දා. ඒ විදියට තමයි තරග වලට ඉදිරිපත් වුණේ. "

මේ වන විට 51වන වියේ පසුවන හර්ෂ ජයසුන්දර වෛද්‍යවරයා දෙදරු පියෙක් වන අතර බිරිය ද උපාධිධාරිනියක් බවත් ඇය සේවය කරන්නේ සමුපාකාර දෙපාර්තමේන්තුවේ බවත් ඔහු කියයි.

තමා නිරත වන වෘත්තීය ක්‍රීඩාවට බාධාවක් නොවන බව තමන් විශ්වාස කරන බවත් ඔහු කියා සිටියි.

මේ විශේෂඥ වෛද්‍ය ක්‍රීඩකයාට  හුදෙකලා පුහුණුවක යෙදෙන්නට ඉඩ නොදෙමින් ඔහුගේ හැකියාවන් තේරුම්ගත් ගුවන්, නාවික හා යුධ හමුදා පාපැදි කණ්ඩායම ලබා දී ඇති සහය හර්ෂ ජයසුන්දර මහතා සිහිපත් කරන්නේ අභිමානයෙනි.

උපුටා ගැනීම - සිරිනාම රාජපක්ෂ

news24.lk
News24
sri lanka news 24
24 news

Comments