වසර 8කට පසුවත් පෝද්දල ජයන්ත යුක්තිය ඉල්ලයි (වීඩියෝ)

 06/20/2017 - 19:23
121 reads

සටන් පාඨ හා පෑනක් සහිතව සටන් කළ තමන් අද අර්ධ ආබාධිතයෙකු ලෙස ජීවත්වීමට තරම් කළ වරද කුමක්දැයි පෝද්දල ජයන්ත මහතා ප්‍රශ්න කරනවා.  යළි ශ්‍රී  ලංකාවට පැමිණි මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා අද (ජුනි 20) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් කළා.

ඒ 2009 වසරේ දී තමා පැහැරගෙන යාමටත්, පහරදීමටත් ලක්වීම සම්බන්ධයන් නිසි පරීක්ෂණයක් ක්‍රියාත්මක නොවූ බව පවසමින්.

2009 වසරේ ජුනි මාසයේ පැහැරගෙන ගොස්  දැඩි ලෙස  පහරදී මහමග අතහැර දමාගිය බවයි  පෝද්දල ජයන්ත මහතා පවසන්නේ.

අස්ථි බිඳීම් කිහිපයක් නිසා මසකට ආසන්න කාලයක් ඔහුට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට සිදුව තිබුණා.

ජිවිත ආරක්ෂාව පතා 2010 දී රටින් පිටව ගිය බව  බව පවසන  එවක වෘත්තීය පත්‍රකලාවේදී සංගමයේ ලේකම්වරයාද වූ පෝද්දල ජයන්ත මහතා  වසර 8කට පසු යළි ලංකාවට පැමිණියා.

"වරක් ලිඛිත පැමිණිල්ලක් කළාම මගෙන් ඊමේල් මගින් ඉල්ලා සිටියා ඔබ පැහැරගත් සුදු වැන් රථයේ අංකය කුමක්ද කියලා, හාස්‍යජනකයි... යම් පුද්ගලයෙක් පැහැරගන්න එන වාහනයක් නිල අංක තහඩු අංකයක් එක්ක එයි දැයි මම පිළිතුරු යැව්වා, ඒ වගේ පරීක්ෂණ ගැන මට විශ්වාසයක් නැහැ"

සැත්කම් හේතුවෙන් සිය පාදයක් අදටත් තහඩු පතුරුවලින් පිරි ඇති බව පැවසූ පොද්දල ජයන්ත මහතා, තමන්ට මෙවන් තත්ත්වයක් ඇතිවීමට, කළ වරද කුමක්දැයි ප්‍රශ්න කරනවා. 

තමාට පමණක් නොව පසුගිය සමයේ ජනමාධ්‍යවේදීන්ට සිදුවූ අපරාධවලට සම්බන්ධ වගකිවයුතු පුද්ගලයන්ට දඬුවම් දීමට ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. .

පෝද්දල ජයන්ත මහතා  දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව ආදී ආයතනවල බදු වංචා සම්බන්ධයෙන් ගවේෂණාත්මක  ලිපි ගණනාවක් ලියා ඇති අයෙක්.