ලොව අනතුරුදායකම සෙල්ෆි 25ක් ගත් හැටි

 06/13/2017 - 19:22
3036 reads

සෙල්ෆි ගැනීමට ගොස් සිදුවූ අනතුරු ගැන බොහෝ රටවලින් අසන්නට දකින්නට ලැබෙනවා. ඇතැම් රටවල ප්‍රසිද්ධ ස්ථානවල මෙන්ම ඇතැම්  ස්ථානවල සෙල්ෆි ඡායාරූප ගැනීම  තහනම් කර තිබෙනවා. ඒ සිදුව ඇති අනතුර සම්බන්ධයෙන් සළකා බැලීමෙන්.  

තැන නොතැන බලා සෙල්ෆි ගන්නා අය අතිශය වැදගත් ස්ථානවලදී එම ස්ථානවල ගෞරවයට හානියක් මෙන්ම එහි ගැවසෙන අනෙක් අයටද හිරිහැරයක් වෙන අවස්ථා ද නැතුවා නොවෙයි.

මේ සියල්ල අබිබවාලන ඉතා බැරෑරුම් කාරණය වන්නේ සෙල්ෆි හේතුවෙන් සෙල්ෆි ගන්නන් තම ජීවිතයද අවදානමට හෙළා ගැනීමයි.

සෙල්ෆි ගන්නන්ගේ ඉලක්කය කුමක් ද යන්නත් සොයා බැලීම වටී.

මතක පොතට තමා සිටිනා තවත් ඡායාරූපයක් එකතු කර ගැනීම පමණක් නොවේ. නූතන තාක්‍ෂණයෙන් අන්තර්ජාලයේ ෆේස් බුක්, ට්විටර් වැනි සමාජ ජාලා හරහා බාහිර  ලෝකයාට හෝ තම මිතුරු මිතුරියන්ට තමා ගත කළ අවස්ථාවක් පිළිබඳ යම් තොරතුරු මෙන්ම ඡායාරූප ලබාදීමත් සිදුවෙයි.

මේ අරමුණේ සිටින සෙල්ෆි ඡායාරූපය ලබාගන්නා තැනැත්තා එහෙට මෙහෙට හැරවී, ඇලවී, නැවී වෑයම් කරන්නේ තමාද සමඟ පසුබිම නියමාකාරයෙන් රූපරාමුවට හසුකර ගැනීමටයි.

මේ අවස්ථාවේදී අමතක වන්නේ තමාගේ ආරක්‍ෂාවයි.

තම ආරක්‍ෂාව අමතක වූ ඇසිල්ලේ සෙල්ෆිය කෙසේ වෙතත් මරු තුරුලට ගිය අයගේ පුවත් රැසක් ලෝකයේ නන් දෙසින් අසන්නට ලැබෙනවා.

මෙක්සිකෝවේ - චිනිපාස් නගරයේ ගුවන් ධාවන පථයකදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ තරුණියන් දෙදෙනෙකු එහි ගොඩබස්සවනු ලැබු කුඩා ගුවන් යානයක ගැටීමෙන් මියගිය බවට පසුගිය මාර්තුවේ අවසන් දිනවල දී වාර්තා වුනා.

සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස්  දරුණු අනතුරකට  ලක්වූ තරුණියක ගැන පසුගියදා ඉන්දියාවේ දිල්ලි නගරයෙන් වාර්තා වූවා.16 හැවිරිදි තරුණිය තම යෙහෙළිය සමඟ කතුරු ඔන්චිල්ලාවක් අසළදීයි  සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීමට උත්සහ කර ඇත්තේ. එහි තිබූ රෝදයක ඇයගේ කොණ්ඩය එතී තිබෙනවා. කොණ්ඩය  සම්පූර්ණයෙන් හිසෙන් ගැලවී ඇය එතුළ සිරවී ඇති අතර ඇයව බේරාගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබෙනවා.

ශ්‍රි ලංකාවේ ආසන්නතම සෙල්ෆි ඡායාරූප අනතුර වාර්තා වූයේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමයි.

එසේම  කහව දුම්රිය ස්ථානය ආසන්නයේදී යුවලක් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් තරුණයා දුම්රියේ ගැටී මිය යාමේ සිද්ධියත් වාර්තා වූවා.

ඒ මෙවන් භයානක සිද්ධි කිහිපයක් පමණයි.

මේ වන විට සෙල්ෆි හේතුවෙන් සිදුවන මාරක අනතුරු පිළිබඳ ලෝක ප්‍රජාවගේ  ද අවධානය යොමු වී තිබෙනවා.

ඔය අතරේ අනතුරුදායකම සෙල්ෆි ඡායාරූපගත් අවස්ථා  25ක් පිළිබඳ වූ වීඩියෝවක් අනතර්ජාලයේ  හුවමාරුවන අතර Youtube පරිශීලකයන් පමණක් කෝටි 4කට ආසන්න පිරිසක් නරඹා තිබෙනවා. කෙසේ වෙතත් එම වීඩියෝවෙන් දැක්වෙන්නේ ඇතැම් ඡායාරූප  සෙල්ෆි ඡායාරූප නොවන බවක්.