ජපානයේ මාකෝ කුමරියගේ විවාහය කල්යයි

 02/07/2018 - 12:24
95 reads

පසුගිය කාලයේ බොහෝ සෙයින් කතාබහට ලක් වූ ජපානයේ මාකෝ  (Mako) කුමරියගේ විවාහ මංගල්‍ය ගැන නැවතත් කතාබහට ලක්ව තිබෙනවා.

ඒ මෙම වසරේ නොවැම්බර් මාසයේ සිය විවාහ මංගල්‍යය සැලසුම් කර තිබුණ ද එය 2020 වසර තෙක් කල් තැබීමට කටයුතු කරමින් සිටින බව සඳහන් වීමත් සමඟයි.  

සිය පෙම්වතා සමඟ විවාහවීම කුමරිය විසින් කල් තබනු ලබන්නේ ඊට සූදානම් වීමට ඇති කාලය මඳවීම නිසා බවත් එම වාර්තාවන්හි දැක්වෙයි.

26 හැවිරිදි 'මාකෝ' කුමරිය ජපානයේ 'අකිහිතෝ' අධිරාජයාගේ මිනිබිරියකි.

කුමරිය පෙමින් බැඳී සිටින්නේ නීති උපදේශන සමාගමක සේවකයකු වෙන කෙයි කොමුරෝ (Kei Komuro) සමඟයි.

සූදානම් වීම සඳහා ප්‍රමාණවත් කාලයක් නොමැති හෙයින් විවාහය ප්‍රමාද කෙරෙන බව 'මාකෝ' කුමරිය සහ කෙයි කොමුරෝ පවසන බව 'ජිජි' (Jiji) පුවත්සේවය වාර්තා කරයි.

අකිහිතෝ අධිරාජයා සිහසුන අත්හැර දමනු ලැබීම සිදු කෙරෙන්නේ ලබන වසරේ වන හෙයින් එම කාල පරිච්ඡේදය ජපානයේ රාජකීය පවුලට කාර්යබහුල වකවානුවක් වනු ඇත.

"අපගේ විවාහය සඳහා අවංක ලෙස උදව් කළ සියලු දෙනාට අපේ විවාහය කල් තබනු ලැබීම මගින් ඇති වූ අමතර කරදරය සහ වියවුල සම්බන්ධයෙන් මම බෙහෙවින් කනගාටු වෙනවා"යි මාකෝ කුමරිය ප්‍රකාශ කළ බව AFP පුවත් සේවය වාර්තා කරනවා.

සාමාන්‍ය ජපන් ජාතිකයකු වන 'කෙයි කොමුරෝ' සමඟ විවාහ වීමත් සමඟ 'මාකෝ' කුමරියගේ රාජකීය තත්වය අහිමි කෙරෙන බවයි වාර්තා වන්නේ.

ජපානයේ රාජකීය නීතිය අනුව රජ කුමරියක විසින් සාමාන්‍ය පුද්ගලයෙක් විවාහ කර ගනු ලබන්නේ නම් ඇය රජ පවුලෙන් ඉවත් කිරීම අනිවාර්ය කාරණයක්.

තෝකියෝ නුවර විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිටියදී මාකෝ සහ 'කෙයි කොමුරෝ' මුලින්ම හමුවී ඇත්තේ 2012 වසරේදී ය.

දෙදෙනාම විසිහය හැවිරිදි වියේ පසුවන අතර අධිරාජයා සිහසුන අත්හැර දැමීම සහ ඔටුන්න හිමි කුමරාගේ රාජ පදප්‍රාප්තිය වැනි රජ පවුලේ වැදගත් කටයුතු නිමවීමෙන් අනතුරුව මාකෝ කුමරියගේ විවාහය සිදු කෙරෙනු ඇතැයි ජපන් අධිරාජ කුටුම්බයේ ප්‍රකාශකයකු විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ.

කෙයි කොමුරෝ ගේ මව සම්බන්ධ වී ඇති මූල්‍ය ප්‍රශ්න ඇතුළත් කරමින් පසුගියදා සඟරාවක ලිපියක් පළ වූ අතර,එම සිද්ධිය රාජකීය විවාහය කල් තබනු ලැබීමට හේතු වූ බවට පළ වෙමින් පවතින අදහස් එම ප්‍රකාශකයා විසින් බැහැර කර තිබෙනවා.

දැනට 84 වැනි වියේ පසුවෙන අකිහිතෝ අධිරාජයා ලබන වසරේ කිරුළ අත්හැර දැමීමට කටයුතු කළොත් අවුරුදු 200කට අධික කාලයකට පසුව (1817 කොකාකු අධිරාජයාගෙන් පසු) මරණයට පෙර ඔටුන්නෙන් සමු ගන්නා දෙවන ජපාන අධිරාජයා ලෙස ඔහු ඉතිහාසයට එක් වෙනු ඇති.

මහළු බව සහ පිරිහුණු සෞඛ්‍ය තත්වය හේතුවෙන් තමන්ගෙන් රටට ඉටුවිය යුතු වැඩ කොටස සපිරීමට අපහසු තත්වයක සිටින බැවින් කිරුළ අත්හැරීමට බලාපොරොත්තු වන බව ජපානයේ අකිහිතෝ අධිරාජයා ප්‍රකාශ කර ඇත.

අධිරාජයා ඒ බව කියා සිටියේ රූපවාහිනිය ඔස්සේ ජපාන ජාතිය අමතමිනි.

අකිහිතෝගෙන් පසුව ජපානයේ අධිරාජ පදවිය ඔහුගේ වැඩිමහල් පුත්, එසේම 'මාකෝ' කුමරියගේ පියාගේ සහෝදරයා වන ඔටුන්න හිමි 'නරුහිතෝ' වෙත පැවරෙයි.

news24.lk
News24
sri lanka news 24
24 news