සිංහයා පෙන්වූ බ්‍රිගේඩියර්ට ගෙදර එන්න වෙයිද? [ඡායාරූප සහ වීඩියෝ සහිතයි]

 02/06/2018 - 17:06
1102 reads

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යලය ඉදිරිපට විරෝධතාවයේ නිරත වූ කොටි හිතවාදී විරෝධතාකරුවන්ට ජාතික ධජය පෙන්වා  ප්‍රතිචාර දැක්වූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා තානාපති කාර්යාල සේවයෙන් ඉවත් කළ යුතු බවට කොටි හිතවාදී සංවිධාන ගණනාවක් බ්‍රිතාන්‍ය රජය වෙත බලපෑම් කරමින් සිටින බව වාර්තා වනවා.

නිදහස් දිනය දා බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටට රැස්වූ පිරිසක් විරෝධතාවයේ නිරත වෙමින් කියා සිටියේ තමන්ට එංගලන්තයේ පුරවැසිභාවය ලැබිය යුතු බවයි. ශ්‍රී ලංකාවට යාමට නොහැකි අනාරක්ෂිත වතාවරණයක් පවතින බැවින් තමන් මේ ආකාරයෙන් මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන බවද ඔවුන් කියා සිටියා.

නමුත් බ්‍රිතාන්‍යයේ වෙසෙන නීත්‍යානුකූල  ශ්‍රී ලාංකිකයන් පවසන්නේ මෙවැනි කෙටි උද්ඝෝෂණවලට සහභාගි වී ඒවා වීඩියෝගත කරමින් ඡායාරූප ලබාගනිමින් හැසිරෙන මෙම පුද්ගලයන් එරට අධිකරණ හමුවේ නඩු ගොනු කරමින් පෙන්වා දෙන්නේ තමන් මෙවැනි උද්ඝෝෂණවලද නිරත වෙමින් ශ්‍රී ලංකාවට යා නොහැකි බව ප්‍රදර්ශනය කර ඇති බවයි. සත්‍ය ලෙසම ඔවුන් උද්ඝෝෂණවල නිරත වන්නේ අධිකරණයට ඒවායේ තොරතුරු ඉදිරිපත් කිරීමට පමණක් බවයි නීත්‍යානුකූල ශ්‍රී ලාංකිකයන් පවසන්නේ.

පසුගිය නිදහස් දිනය දා ද එලෙස පැමිණි පිරිසක් විරෝධතාවයේ නිරතවද්දි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ජාතික ධජය පෙන්වමින් හස්ත සංඥාවෙන් උද්ඝෝෂකයන්ට ප්‍රතිචාර දැක්වීම මහකොමසාරිස් කාර්යාලයෙන් පිටත සිදු වූ සිදුවීමක් බවද සිද්ධිය ඇසින් දුටුවන් පවසා තිබෙනවා.

නමුත් කොටි හිතවාදී දෙමළ සංවිධාන හා ඒවාට අනුබද්ධ වෙනත් සංවිධාන හා ආයතන නියෝජනය කරන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අදාළ බ්‍රිගේඩියර්වරයා ඉවත් කරන ලෙස රජයට බල කරන බව වාර්තා වනවා.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙම බ්‍රිගේඩියර්වරයා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක අංශයට අනුයුක්තව කටයුතු කරන අතර බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සංවිධාන ගණනාවක් ඔහුගේ සේවය අගය කරමින් සමාජ ජාලවලද සටහන් තබා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් කිසිවෙකුත් ශ්‍රී ලංකා රජය වෙත නිල දෝෂාරෝපණයක් හෝ කරුණු වාර්තා කිරීමක් සිදු කර නොමැති බවයි වාර්තා වන්නේ. එමෙන්ම රජයද මේ පිළිබඳව කිසිදු නිල ප්‍රතිචාරයක් දක්වා නැහැ.

 

මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැති විරෝධතාව

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ඊට ප්‍රතිචාර දක්වන වීඩියෝව

 

 

 

 

news24.lk
News24
sri lanka news 24
24 news