ශීත ඔලිම්පික් වලින් රුසියාව ඉවතට

 12/07/2017 - 06:01
53 reads

ලබන වසරේ දී දකුණු කොරියාවේ ප්යොංචැන්ග්හි පැවැත්වීමට නියමිතව ඇති ශීත ඔලිම්පික් (Winter Olympics) තරගාවලියෙන් රුසියාව ඉවත් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීන්දු කර තිබෙනවා.

අදාළ තීන්දුවට එළෙඹ ඇත්තේ 2014 වසරේ සෝචි ශීත ඔලිම්පික් උළෙලේදී රුසියානු රජයේ අනුග්‍රහය ඇතිව එරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තහනම් උත්තේජක ලබා දුන් බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පැවති විමර්ශනවලින් අනතුරුවයි.

කෙසේ නමුත් තම නිර්දෝෂීභාවය සනාථ කල හැකි රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ස්වාධීන කණ්ඩායමක් වශයෙන් තරග කිරීමට ඉඩ ලබා දෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් දෙන ලද අදාළ තීන්දුව රුසියාව දැඩි ලෙස හෙලා දකින බවත් සඳහන්.

ඒ අනුව රුසියාවේ ඇතැම් දේශපාලනඥයන්ගේ මතය වී ඇත්තේ ශීත ඔලිම්පික් තරගාවලිය වර්ජනය කළ යුතු බවයි.

නමුත් නිර්දෝෂීභාවය සනාථ කළ හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒ සඳහා සහභාගීවීමට අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් සෙසු බලධාරීහු එකඟත්වය පළ කර තිබෙනවා.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බාහ් ඇතුළු මණ්ඩලය විසින් අඟහරුවාදා (05) අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ මාස 17 පුරා පැවති විමර්ශනවල ප්‍රතිඵල සහ නිර්දේශ සලකා බැලීමෙන් අනතුරුවයි.

රුසියානු ඔලිම්පික් කමිටුව තහනමට ලක් කරනු ලැබ ඇතිමුත් නිර්දෝෂීභාවය සනාථ කළ හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට "රුසියාවේ ඔලිම්පික් මළල ක්‍රීඩකයන්" නමින් වෙනම කණ්ඩායමක් වශයෙන් තරග කිරීමට ආරාධනා කරන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසන්නේ.

news24.lk
News24
sri lanka news 24
24 news