''පළමු ආදරය නැතිවුණේ රඟපාන්න කලින්'' චුලක්ෂි රණතුංග

 11/14/2017 - 10:09
262 reads

නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රයට පිවිසි චුලක්ෂි සෞභාග්‍යයා රණතුංග ගැන මේ වන විට නොදන්නා අයෙකු නැති තරම්. මේ වන විට නිරුපණයට අමතරව සිනමාපටයකින් ද ජනප්‍රියත්වය දිනා සිටින අතර ඇගේ ආගමනය සහ ඉදිරි කටයුතු සම්බන්ධව පුවත්පතකට අදහස් දක්වමින් කියා තිබුණේ මෙවැන්නක්.

''මගේ ගම අත්තනගල්ල. පාසල කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය. මමත් අයියාත් පාසල් ගියේ නේවාසිකව ඉඳීමින්. උසස් පෙළට මා ඉගෙන ගන්නේ වාණිජ විෂය ධාරාවෙන්. ඒත් බාස්කට් බෝල් ක්‍රීඩාවට මගේ තිබුණේ පුදුම කැමැත්තක්. අනාගතයේ බාස්කට් බෝල් ක්‍රීඩිකාවක් වීමයි මගේ අරමුණ වුනේ. ඒ නිසයි මා දිගටම සෙල්ලම් කරන ගමන් බැංකු ක්ෂේත්‍රයේ රැකියාවකට යනවා කියලා සිතුවේ. වාණිජ විෂය ධාරාව උසස් පෙළට තෝරා ගන්න හේතුව ඒකයි. ඊට පස්සේ නිවෙසින් දිගටම මා බාස්කට් බෝල් සෙල්ලම් කරනවාට කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒ නිසා ඒ අදහස අතහැර දමන්නට මට සිදුවුණා.
අයියාත් බාස්කට් බෝල් සෙල්ලම් කරන කෙනෙක්. ඒ නිසයි මාත් බාස්කට් බෝල් ක්‍රීඩා කරන්නට තෝරා ගන්නේ. පසුව ඔහුත් මට මේ ක්‍රීඩාව නතර කරන්නට කියලා කිව්වා. දිගටම සංචාරය කරන්නට සිදුවුණු නිසා ගැහැනු ළමයකුට එය නුසුදුසු බවයි ඔවුන් සිතන්නට ඇත්තේ. එහෙම වුණත් නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙනවාට ගෙදර අයගේ අකැමැත්තක් තිබුණේ නැහැ.

මුලින් මේ අංශයේ තිබෙන තරගයක් ගැන මට පැවසුවේ මගේ යහළුවෙක්. රොසෑන් ඩයස් මගේ පළමු ගුරුතුමියයි. ඈත් මේ පළමු පැජන්ට් එකට ඉදිරිපත් වන ලෙස පැවසුවා. ඒත් ඒ දවස්වල මා තරමක් මහත කෙනෙක්. කොහොම හරි මා ඒ 2012 පැවැත්වුණු ලක්ස් රුවැත්ති පැජන්ට් එකට ඉදිරිපත් වනවා. මාව පුරුදු පුහුණු කළේ සේනක ද සිල්වා. එහිදී මට මිස් පර්සර්නලිටි වෙන්න අවස්ථාව ලැබෙනවා. ඉන්පස්සේ මා තවත් පැජන්ට් එකට ඉදිරිපත් වනවා. එහි දෙවැනි වතාවේදි මා වින් කරනවා. මේ සමඟම මා පිළිබඳ බොහෝදෙනා දැන ගන්නවා. මා ගැන කතා කරනවා. එහිදියි මට හේමාල්ව හඳුනා ගැනීමට ලැබෙන්නේ. ඔහුයි අපට නිරූපණයට අමතරව වෙනස් දේවල් කරන්න කියලා පවසන්නේ. ඒ අනුව මට ඔහු ප්‍රියන්ත කොළඹගේගේ මේ චිත්‍රපටයේ ඔඩිෂන් එක ගැන පවසනවා. ඒ සඳහා මා ඉදිරිපත් වනවා. මීට පෙර මා නිරූපණ ශිල්පිනියක්ව ඉඳීද්දි රඟපාන්නේ නොමැති බවයි ප්‍රකාශ කරලා තිබුණේ. ඒත් ඒ අදහස මේ වනවිට වෙනස් වුණා.

නිරූපණ ශිල්පිනියක් වනවා තරම් ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. ඒ කටයුත්ත නම් එක්තරා කාලයකදි අවසන් වනවා. ඉන්පසුව අපි බොහොම නිදහස්. රඟපෑමේදි එහෙම නොවෙයි. අපි චරිතයකදි යම් මූඩ් එකක ඉන්නවා නම් ඒ මූඩ් එකේමයි සිටිය යුත්තේ. වෙනත් දේවල් ගැන සිතන්න බැහැ. එලෙස පුරුදු පුහුණු කරන්නට නම් අප බොහෝ දැනුවත් විය යුතුයි. විවිධ පොතපත කියැවිය යුතුයි. සමාජය ගැන, එහි ජීවත්වන චරිත අධ්‍යයනය කළ යුතුයි. එවිටයි අපට අපේ රඟපෑම සාර්ථකව ඉදිරිපත් කළ හැක්කේ.

චිත්‍රපටය කිරීමට පෙරයි මගේ පළමු ආදරය නැතිවුණේ. ඊට පසුව මා තවමත් ආදරවන්තියක් නොවෙයි.

සිනමා ක්ෂේත්‍රයේ ඉන්නයි බලාපොරොත්තුව තිබෙන්නේ. ඒ ගැන ඉගෙන ගනිමින්, හදාරමින් ඒ කටයුත්තට පිවිසීමට මා අදහස් කරගෙන ඉන්නවා. ඉදිරියේදි තවත් නිර්මාණයකට කතා කළා. ඒ ගැන සිතිය යුතුයි. ''

 

 

news24.lk
News24
sri lanka news 24
24 news