දෑවැද්දට නයිපෙට්ටිය සමග වඳුරෙකු දුන් අපූරු විවාහ මංගල්‍යය

 11/13/2017 - 13:20
56 reads

අවුරුදු 19ක් වයසැති මසන්නාගේ මල්කාන්ති සහ 20 හැවිරිදි සුනිල්ගේ විමුක්ති අරවින්ද කුමාර පසුගිය දා විවාහ වූයේ තෙළිගු සම්ප්‍රදායක චාරිත්‍රවලට අනුවයි.

තෙළිඟු භාෂාවෙන් විවාහය යනු “පෙන්ලි සේස්තාව්“ නම් වෙයි.

පෙන්ලි සේස්තාව් වූ මොවුන්ව රබන් ගසා පිලිගත්තේ රැහේ වැඩිහිටියන් විසින් වියනක් යටින් ඔවුන් කැඳවාගෙන විත් වැඩිහිටියන් ඉදිරියේ රිදියෙන් කල මුදු මාරුවකින් ද අනතුරුවයි. මනමාලියගේ ගෙල බැඳෙන්නේද පබළු මාලයකි.
 
පැරැණි සිරිතට අනුව නිවැරැදිවම සිදුවනවා නම් මොල් ගස් දෙකක් හරහා දමා ඒමත සිටගෙන සිටින යුවල ඇඹරූ සුදු හාල් මිශ්‍ර ජලයෙන් නහවා මෙම මුදු මාරුව හා මාල බැඳීම සිදුවන බව නොච්චිකුලම ගම්මානයේ ප්‍රධානියෙකු වන ඒ. මසන්නා මහතා පැවසුවේ රත්තරන් මාල බැඳීමක් හෝ මුදුමාරුවක් නොවන බව සඳහන් කරමිනි.

වර්තමානයේ සමහර දේවල් දුරස්ව ඇති බව පවසන ඔහු තමන්ට පුළුවන් විදියෙන් පාරම්පරික සිරිත් විරිත් ඉදිරි පරම්පරාවට ගෙන යාමට උත්සව අවස්ථාවල කටයුතු කරන බවද කියා සිටිනවා.

වවුනියාව දකුණු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නොච්චිකුලම ගම්මානය මෙම තෙලිගු ජන කොටස ජීවත්වන එකම ගම්මානයයි.

එහි පවුල් 54 ක් පමණ මේ වන විට ජීවත්වන අතර ඔවුන්ට අනුව ඔවනුගේ ජාතිය හා භාෂාව තෙළිඟුය .

ඇතැමෙක් තමන්ගේ ජාතිය 'වඩිග' බවද කියයි.

මොවුන් දැන් සම්ප්‍රදායික හැකියාවන්වූ රිලා නැටවීමෙන් නයි නැටවීමෙන් සාස්තර කීමෙන් දුරස්වෙමින් සිටී.

ගෙවතු වගාවට හා මාළු ඇල්ලීම වැනි රස්සාවලට යොමුවනවා මෙන්ම ඇතැමෙක් ඇවිදීමෙන් භාණ්ඩ අලෙවිය වැනි කටයුතුවලද නිරතව සිටිනවා.

එහෙත් තවමත් ඔවුන් තම සම්ප්‍රදායන්ට ගරුකරමින් ජීවත්වන අතර මෙම විවාහ උත්සවය පසුගියදා සිදුවූයේ වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් එම්.එස්.ජානක මහතා ප්‍රධාන නිලධාරි පිරිසක් හමුවේය.

විවාහයෙන් පසුව පැල්කොටයට මනමාල යුවලට මනමාලියගේ පියා විසින් දෑවැද්ද ලෙස දෙන්නේ හරකාබාන නොව නයෙක් සමග නයි පෙට්ටියක් හා වඳුරෙකි.

එයට හේතුව ඔවුන්ගේ ජීවිකාව ආරම්භ කිරීමට මග පාදා දිමක් බව ගමෙහි පදිංචි එම්. තිම්මන්නා පවසයි.

මනමාලයාගේ මව ආර්. ලලිතා (42) පවසන්නේ මෙම විවාහය ගැන හැමෝම සතුටු වන බවත් මෙය කතාබහ කොට ඇතිකරගත් විවාහයක් බවයි.

මනමාලියගේ මව මසන්නාගේ මසක්කා (54) පවසන්නේ තමන්ගේ තුන්වන දියණිය ගේ මංගල්‍ය ගැන රැහේ හැමෝම සතුටෙන් සිටිවා සේම ඔවුන්ට ඔවුන්ට හැමෝගේම ආශිර්වාදයද ලැබී ඇති බවයි.

නයි නලාව වයමින් හා රඹන් ගසමින් අත්පුඩියෙන් හා නැටුමෙන්ද මෙම විවාහ උත්සවය අලංකාරවත්ය.

ගමේ හැමෝම මඟුල් අසිරිය විඳිමින් සතුටුවන අයුරු දක්නට ලැබෙන අතර මේ සියල්ලන් කියාපාන්නේ තවමත් ඔවුන්ගේ ජනවර්ගය තුළ නොනැසී පවතින සමගියේ යහ ලකුණකැයි සඳහන් කල හැකි බවයි.

උපුටා ගැනීම – වන්නි රොමේෂ් මධුෂංඛ

 

news24.lk
News24
sri lanka news 24
24 news