ජනපතිට හූනියම් කළ බව කියන තඹ පත පොලිසියට එයි

 06/14/2017 - 12:19
1744 reads

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හූනියමක් කර ඇති බවට  හැඟවෙන  තඹ පත්‍රිකාවක් පදවිය - කැබිතිගොල්ලෑව  මාර්ගයේ පහළ උස්ගල්ල සොහොන් පිටියේ තිබී  හමුව තිබෙනවා. පොලිසිය පවසන්නේ සොහොන් පිටිය අසල නිවසක වැඩකරමින් සිටි තරුණයන් දෙදෙනෙකු දෙදෙනෙකුට දින දෙකකට පෙර ඒවා හමුව ඇති බවක්.

සොහොන් කොතක් ආසන්නයේ පූජා භාණ්ඩ කිහිපයක් තිබෙන අයුරු දැක ඒ පිළිබඳ විපරම් කරද්දී  සොහොන ආසන්නයේ සඟවා තිබූ අඟල් දෙකක් පමණ පළල අඟල් 10ක් පමණ දිගින් යුතු තඹ පැහැති පත්‍රිකාව හමුවී තිබෙනවා.

එම තඹ පත්‍රිකාවේ ජනාධිපතිවරයාගේ මෙන්ම, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සහෝදරයන් තිදෙනෙකුගේ  හා පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ නම් සඳහන් කර ඇති බවයි කියවෙන්නේ.

තඹ පත්‍රිකාවේ ජනාධිපතිවරයාගේ නම මෙන්ම අමාත්‍ය දුමින්ද දිසානයක මහතාගේ සහෝදරයන් කිහිප දෙනෙකුගේ නම් මෙන්ම තමාගේ නම ද සටහන්ව තිබූ බව උතුර මැද පළාත් සභා මන්ත්‍රී කේ.එච් නන්දසේන මහතා NEWS24 වෙත කියා සිටියා.

පැවසෙන පරිදි එම නම්,

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,
උතුරුමැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය හේතුහාමිගේ නන්දසේන,
උතුරු මැද පළාත් අමාත්‍ය සුසිල් ගුණරත්න ඒ මහතාගේ පුත්‍රයා වන තුසිත ගුණරත්න,
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සහෝදරයන් වන පෞද්ගලික ලේකම් කවීන් දිසානායක, නීතිඥ අමිල දිසානායක හා රවීන්ද්‍ර දිසානායක මහත්වරුන්

තඹ පත්‍රිකාවේ සිරස් අතට පුද්ගල රූප හයක් ඇඳ නාමයන් ලියා ඇති බවත්, තිරස් අතට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බව අඟවන රූපය ඇඳ ඊට දෙපසින්ම  නම ලියා ඇති බවත් සඳහන්.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට විනකරමින් සිදු කළ බව කියන හූනියමක් සහිත තඹ පත්‍රිකාව සම්බන්ධයෙන් කැබතිගොල්ලෑව පොලීසිය විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා.

තඹ පත්‍රිකාව අද පෙරවරුවේ කැබතිගොල්ලෑව පොලීසිය භාරයට ගත්තා.