මහේල සහ සංගා - කාන්තා ප්‍රචණ්ඩත්වයට එරෙහිව

 10/20/2017 - 11:26
9 reads

කාන්තාවන්ට හා ගැහැනු ළමයින්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය සම්බන්ධව දැනට ශ්‍රී ලංකාවේ පවත්නා ගැටළුවත්, ඒ සඳහා පාසල් මට්ටමින් සිසුන් දැනුවත් කිරී‍ම ඔස්සේ  කාන්තා හිංසනය තුරන් කිරීමේ පණිවුඩය සමාජගත කිරීමත් සම්බන්ධව විශේෂ  රැස්වීමක් පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

 ඒ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර මහත්වරුන් සහ යුරෝපා සංගමයේ තානාපති තුන්-ලායි මාර්ග් මහතා ඇතුළු නියෝජිත පිරිසකගේ සහභාගීත්වයෙන්.

 මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර මහත්වරුන් ද, යුරෝපා සංගමය ද අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව මේ සම්බන්ධව කටයුතු කරන්නට ඉදිරිපත් වීම මෙහි දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ විශේෂ ප්‍රසාදයට ලක් වුණා.

 
රටේ සංවර්ධනය රඳාපවතින්නේ සමාජ උන්නතිය වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග ඔස්සේ  බවත්, එහි දී ස්ත්‍රීපුරුෂ සමාජභාවය, සමානාත්මතාව, සදාචාරාත්මක අයිතීන් ආදිය තුළින් සමාජ වෙනසක් ඇති කළ යුතු බවටත් ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර් මහතා  මෙහිදී කියා සිටියා.

ලෝකය තුළ සහ ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමාජ භාවිතය නිසා පැන නඟින ගැටළු ගැන දැනුවත්කම ඇති කිරීමටත්,  කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහමුලින් සමාජයෙන් බැහැර කිරීම වෙනුවෙන් දායකත්වය ලබාදීමට අවස්ථාව ලැබීම සම්බන්ධව  බෙහෙවින් සතුටට පත්වන බව ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන මහතා මෙහිදී සඳහන් කළා.  

පාසල් මට්ටමින් මේ සඳහා ඇති කළ හැකි ආකල්පමය වෙනස සහ කාන්තා අයිතිවාසිකම් සම්බන්ධව සමාජය දැනුවත් කිරීමටත් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධව මෙහි දී විශේෂ අවධානය යොමු කෙරුණා.

news24.lk
News24
sri lanka news 24
24 news