චේ ට හොරණදී පැලය සිටුවන්න උදව් කළ ඩිංගිරි මහත්තයා අද අවුරුදු 58ක මහා වෘක්ෂය අභියස

 10/09/2017 - 12:20
348 reads

වසර 39 ක තම කෙටි ආයු කාලය තුළ මුළු ලොවම ආකර්ශනය කරගත් ශ්‍රේෂ්ඨ විප්ලවවාදියෙකු ලෙස චේ ගුවේරා බොහෝ දෙනෙකුගේ සිත් දිනාගත්තෙකි.

ආජන්ටිනාවේ පොහොසත් පවුලක උපන් ඔහු ඉතා දීප්තිමත් ශිෂ්‍යෙයකු වූ අතර පසුකාලීනව වෛද්‍යවරයෙකු විය.

තමාට හිමි වු සුඛෝපභෝගි ජීවිතය හැර දමා, වෛද්‍ය වෘත්තීයද පසෙක තැබු තරුණ චේ වර්ෂ 1953 දී ග්වාතමාලාවට පිටත්ව ගියේ පීඩිත මිනිසුන් වෙනුවෙන් සිය දායකත්වය ලබා දීම අරඹමිනි.

ඔහුගේ ක්‍රියාකාරකම් පිළිබඳව විවිධ මත තිබිය හැකි වුවත් මරණයෙන් පසුව ද ලෝකයේ විශිෂ්ඨත්වයට පත් විප්ලවවාදියෙකු ලෙස චේ ඉතිහාසයට එක්වී හමාරය.

කියුබානු විප්ලවයට සක්‍රිය දායකත්වයක් වෙමින් ෆිදෙල් කැස්ත්‍රෝ සමග එක්වු චේ නිදහස් කියුබාවේ ආර්ථික කටයුතු අමාත්‍යවරයා බවටද පත්විය.

චේ ගුවේරා සහ ශ්‍රී ලංකාව අතරද සුවිශේෂී සබඳතාවක් පවතියි.

චේ ගේ මතක සටහන් අදටත් මෙරට වැජඹෙයි.

ලෝක දේශපාලනය තුළ පෙරළිකාරි චරිතයක් මෙන්ම විප්ලවවාදීන්ට පරමාදර්ශයක් ද වන චේ CIA මැදිහත් වීමකින් ඝාතනය කර අදට වසර 50 කි.

මෙරට වාමාංශික ක්‍රියාකාරීන් 'චේ දිනය' ලෙස හඳුන්වමින් ඔහු සිහිපත් කරන්නේ ඔක්තෝබර් 08 වනදායි.

මිය යන්නට වසර 08 කට පෙර ශ්‍රී ලංකාවට පැමිණි චේ, අගෝස්තු මාසයේ 08 වන දා හොරණ යහලකැලේ වතුයායේ මහෝගනී පැළයක් රෝපණය කළා.

එදා ඔහු රෝපණය කළ ඒ කුඩා පැළය අද වසර 58ක් වයසැති  මහා වෘක්ෂයක්.
සුපුරුදු පරිදි මෙවරත් චේ සැමරුම පැවැත්වුණේ ඒ මහ රුක සමීපයේයි.

ඒ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ජුවානා එලේනා රාමෝෂ් මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

එදා චේ ට  යහලකැලේ වතුයායේ පැලය සිටුවීමට සහය වූයේ  ඩිංගිරි මහත්තයායි.
ඩිංගිරි මහත්තයා මෙවරද  චේ  සැමරුම් උත්සවයට සහභාගී වූවා.
එදා චේ ගේ දැවැන්ත වූ මතකය අද ඩිංගිරි මහත්තයා සිහිපත් කරන්නේ මේ දැවැන්ත වෘක්ෂය දෙසබලා සිටිමින්.

 

news24.lk
News24
sri lanka news 24
24 news

Comments