උතුරේ හර්තාල් - වවුනියාවේ කළු කොඩි

 06/16/2017 - 07:55
114 reads

උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා තනතුරෙන් ඉවත් කරන ලෙසට ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය ඉල්ලා අස්කරගන්නැයි බලකරමින් හර්තාල් ව්‍යාපාරයක් උතුර පළාත තුළ අද දින ක්‍රියාත්මක වනවා.

ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා නායකත්වය දරණ දෙමළ මහජන සභාවේ නියෝජිතයන් සඳහන් කළේ උතුරේ දේශපාලන සංවිධාන, සිවිල් සංවිධාන සහ යාපනය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ සිසුන් හර්තාලයට සහය දක්වන බවයි.

ඊයේ දිනයේදී ද අදාළ විශ්වාසභංගය ඉවත් කර  ගන්නා ලෙස බලකරමින් විරෝධතා කිහිපයක් සංවිධානය කර තිබුණා.

යාපනයේ සිවිල් සංවිධාන කිහිපයක් ඒවා සංවිධාන කර තිබූ බවයි NEWS24 වාර්තාකරු පැවසුවේ.

දෙමළ මහජන සභාවෙ සංවිධානයේ නියෝජිතයින් වැඩිදුරටත් කියා සිටියේ විග්නේෂ්වරන් මහතා කිසිදු වැරදි තීරණයක් ගෙන නොමැති බවයි.

අද(16) වවුනියාව නගරයේ කළු  කොඩි ඔසවා තිබෙනවා.
වවුනියාව ප්‍රදේශවාසීන් පැවසූවේ උතුරේ ජනතාව බහුතරයක් ප්‍රධාන අමාත්‍යවරයා වෙත සහයෝගය පළ කරන බවයි.
ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව ලබාදුන් විශ්වාසභංග යෝජනාව ඉවත් කරන ලෙසට ඉල්ලීම් කරමින්  වවුනියාවේ විරෝධතාවයක්ද පැවැත්වීමට නියමිතයි.

(ඡායාරූප වවුනියාව - මාධව කුලසූරිය)