ඉන්දීය යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී දිවයිනට

 05/14/2018 - 10:42
48 reads

ඉන්දීය යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජනරාල් බිපින් රාවට් (Bipin Rawat) දිවයිනට පැමිණ තිබෙනවා.

යුධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ ආරාධනයකට අනුව දින හතක නිල සංචාරයක් සඳහා  ඔහු දිවයිනට පැමිණි බවයි යුධ හමුදාව පැවසුවේ.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්ද්‍රිකා සේනානායක මහත්මිය විසින් ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් සහ මධුලිකා රාවට් මහත්මිය පිළිගනු ලැබුවා.

සම්බන්ධීකරණ නිලධාරි මේජර් ජෙනරාල් අරුණ සුදසිංහ, ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතන් අශෝක් රාඕ සහ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු පිරිස පිළිගැනීම සඳහා ගුවන් තොටුපළට පැමිණ සිටියා.

සාමාජිකයින් පස්දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසට මේජර් ජෙනරාල් ප්‍රීති සිං, බ්‍රිගේඩියර් මුකේෂ් අග්‍රවාල් සහ මේජර් අන්ෂුල් අල්වට් ඇතුළත්.

නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන සංචාරය අතරතුර,  ජනාධිපතිවරයා,  අග්‍රාමාත්‍යවරයා, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සහ තවත් රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිපදෙනෙකු හමුවීමට ද නියමිතයි.

සංචාරක නියෝජිත පිරිස දියතලාවේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ මෙන්ම ත්‍රිකුණාමලය සහ ගාල්ල ප්‍රදේශයේ ද සංචාරය කිරීමට නියමිත අතර  බත්තරමුල්ලේ පිහිටි ඉන්දිය සාම සාධක හමුදා ස්මාරකය වෙත  පුෂ්පෝපාහර පුද කිරීමට ද එක්වනු ඇති.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news