මහනුවර සිද්ධියේ හානිවලට මූල්‍යාධාර

 04/07/2018 - 13:06
47 reads

අධ්‍යාපනය තුළින්, ජාති, ආගම් සහ කුල භේද නැති අනාගත පරපුරක් බිහිකිරීම වත්මන් රජයේ අවශ්‍යතාව බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසුගිය දා මහනුවර දී ඇතිවූ සිදුවීම් හේතුවෙන් හානියට පත් ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය  හා සංරක්ෂණය කිරීම සඳහා මූල්‍යාධාර පිරිනැමීම නිමිත්තෙන්   ඊයේ (06) බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී පැවති උත්සවයකට එක්වෙමින්.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඇතැම් පිරිස් ජාතිවාදය ඇසුරෙන් කිරීමට උත්සහ කරන දේශපාලනය වැළැක්විය යුතු බවයි.
ජාතිවාදය ඉස්මතු කිරීමෙන් ඉටු කරගැනීමට උත්සහ කරන ඔවුන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රයන් ද පරාජය කළ යුතු බව හෙතෙම පෙන්වා දෙනවා.
වත්මන් රජය එවැනි න්‍යාය පත්‍රවලට කිසිසේත් ඉඩ නොතබන බවත් අමාත්‍යවරයා මෙහිදී ආගමික නායකයින් වෙත දන්වා සිටියා.

මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් 'සසුනෝදය' ජාතික වැඩසටහන යටතේ මූල්‍ය ප්‍රදාන ලබාදීම සිදු කෙරුණා.

ඒ අනුව මහනුවර ප්‍රදේශයේ හානියට පත් බවට හඳුනාගත් ආගමික ස්ථාන 19ක් සංරක්ෂණය හා සංවර්ධනය කිරීම ස ඳහා රුපියල් ලක්ෂ 19ක මූල්‍ය ප්‍රදාන පිරිනැමුණා.

ජාතීන් අතර අන්‍යෝන්‍ය සුහදතාව ආරක්ෂා කිරීමටත්, සංහිඳියාව සහ ආගමික සහජීවනය වැඩි දියුණු කිරීමත් තුළින් මෙරට ජනතාව ඒකාත්මික කිරීමත් මෙම ජාතික වැඩසටහන්වල අරමුණයි.

 

 

 

news24.lk
News24
sri lanka news 24
24 news