'යකඩ මත කොන්ක්‍රිට් ඇතිරූ' අලංකාරවත්ම ගුවන් පාලම

 01/08/2018 - 13:00
175 reads

දීර්ඝ කාලයක් පුරා මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් රාජගිරියේ පැවති දැඩි වාහන තදබදයට විසඳුමක් ලබාදෙමින්, රාජගිරිය මංසන්ධියේ ඉදිකෙරුණු ගුවන් පාලම විවෘත කෙරුණා.

ඒ ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව තිබුණේ මෙම වසර අවසානයේ වුවද මගී ජනතාවගේ පහසුව සදහා එහි කටයුතු මාස 11කට පෙර නිම කිරීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පියවර ගැනුණා.

ස්පාඤ්ඤ සමාගමක් සහ දේශීය සමාගමක් එක්ව 2016 වසරේ ගුවන් පාලමේ ඉදිකිරීම් ආරම්භ කළ අතර, වැයකර ඇති මුදල රුපියල් මිලියන 4700ක්.
 
මංතීරු හතර බැගින් වූ ගුවන් පාලම දිගින් මීටර් 534 ක් වන අතර මීටර් 180 ක පිවිසුම් මාර්ගයක් ද ඊට ඇතුළත්.

මීට සමගාමීව අවට මාර්ග රැසක් සංවර්ධනය කෙරෙන අතර නාරාහේන්පිට දෙසට ගමන් කිරීම සදහා විකල්ප මාර්ගයක් මෙන්ම බුත්ගමුව දෙසට වන මාර්ගය මංතීරු 03ක් සහිතව සංවර්ධනය කෙරෙයි.

ඉහළ නවීන තාක්ෂණය යොදාගනිමින් ඉංජිනේරු ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකර තිබෙන පාලම, යකඩ මත කොන්ක්‍රිට් අතුරා ලංකාව තුළ ඉදිකළ ප්‍රථම ගුවන් පාලම ලෙස  ඉතිහාසයට එක්වන්නේ.

එමෙන්ම ලංකාවේ ඉදිකළ අලංකාරවත්ම ගුවන් පාලම ද මෙයයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන  ලක්ෂ්මන් කිරිඇල්ල, චම්පික රණවක, වජිර අබේවර්ධන, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහ රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news
Rajagiriya fly over bridge