රුහුණ කසාවතින් බැබලවූ රහතන් වහන්සේ වැඩ සිටි කහවත්ත පුරාණ විහාරය විනාශ මුඛයේ

 12/22/2017 - 13:32
213 reads

දකුණු ලක ගිරුවාපත්තුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් බෙලිඅත්ත කහවත්ත ප්‍රදේශයේ පිහිටා ඇති ඓතිහාසික වටිනාකමකින් යුත් කහවත්ත පුරාණ රජමහා විහාරය කෙරෙහි මෙතෙක් පුරාවිද්‍යා බළධාරීන්ගේ අවධානය යොමු නොවීම නිසා එහි නටබුන්  දිනෙන් දින කැලෑවට ගොස් විනාශ වෙමින් පවතින් බව විහාරාධිපති පුජ්‍ය වටරක්ගොඩ ඤාණසිරි හිමියෝ පවසති.

බෙලිඅත්ත නගරයේ සිට වලස්මුල්ල මාර්ගය ඔස්සේ සැතපුම් පහක් ගොස් හමුවන  කහවත්ත පාලම අසලින් වමට හැරී සැතපුම් භාගයක් පමණ ගිය විට කිරම ඔය නදී අසබඩ රමණිය වු භූමි භාගයක ඓතිහාසික පුදබිම පිහිටා තිබේ.

විහාරස්ථානය අනුරාධපුර යුගයට අයත්  මහානාග රජු දවස ඉදිකල එකක් බවට සාධක හමු වී ඇත.

විහාරස්ථානයේ විවිධ ඉදිකිරීම් වලදි ගල් කණු, ඉපැරණි ගඩොල් හා උළු වර්ග ඇතුළු නටබුන් රැසක් මතුවි තිබේ.

එකල රහතන් වහන්සේ 500 නමක් මෙහි වැඩ සිට ඇති අතර උන්වහන්සේ විහාරස්ථානය අසලින් ගලා බසින කිරම ඔයෙන් සිවුරු සෝදා ප්‍රදේශය පුරා එලා තැබිම හේතුවෙන් ප්‍රදේශයම කසාවතින් බැබලී තිබේ.

මේ හේතුව නිසාම මෙම ප්‍රදේශය එදා කසා වත්ත ලෙස හදුන්වා ඇති අතර පසුව එය කහවත්ත බවට පත් වු බවයි පැවසෙන්නේ.

මහානාග රජ දවස ඉදිකල ඉපැරිණි චෛත්‍ය වහන්සේ ගරාවැටී ඇති අතර එහි මුදුනත වසර දහසකටත් වඩා පැරණි බෝධීන් වහන්සේ නමක් රෝපණය වි තිබේ.

මෙය දැනට දකුණු ලද තිබෙන පෞරාණිකම බෝධීන් වහන්සේ ලෙසයි සැළකෙන්නේ.

මහා දුර්භික්ෂයක් හේතුවෙන් කලක් මෙම ප්‍රදේශය ජන ශූන්‍යව පැවත  තිබෙනවා.

මහනුවර උපසම්පදාව ඇති කිරීමෙන් පසු මුල්ගිරිගල විහාරයේ වැඩසිටි වටරක්ගොඩ ධම්මපාල හිමියන් උපසම්පදාව ලබා බිහිකල සිසුන් 12 දෙනාගෙන්, ගල්වැව සොභිත හිමියන් 1800දී මෙම ප්‍රදේශයට පැමිණ  විහාරය සොයාගෙන නැවත වන්දනාමානයට පත් කර තිබේ.

එතැන් පටන් කහවත්තේ බුද්ධරශ්මිත, අකුරුගොඩ සුදස්සී, තාරපේරියේ පියදස්සී, කහවත්තේ පියරතන, ගලගම රතනජෝති, ඌරුගමුවේ රතනජෝති යන නාහිමිවරුන් වහන්සේ මෙහි අධිපතීත්වය දරා තිබේ.

කහවත්ත විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති, ශාස්ත්‍රෙව්දී වටරක්ගොඩ ඤාණසිරි හා නුගේගොඩ සුභද්‍රාරාම විද්‍යායතනයේ උප පරිවෙනාධිපති, වටරක්ගොඩ ශ්‍රි සුදර්ශනාරාමාධිපති, ශාස්ත්‍රපති ඕමාරේ පුඤ්ඤසිරි යන හිමි වරු දෙපළ මෙම විහාස්ථානයේ වත්මන දියුණුව වෙනුවෙන් කැපවි වැඩකටයුතු කරති.

අද වන විට විහාරස්ථාන‍යේ නටබුන් වලට අත්ව ඇති ඉරණම පිළිබඳ  විහාරධිපති හිමියන් මෙසේ පවසති.

"මෙම විහාරස්ථානය අනුරාධපුර මුල් යුගයට අයත් මහරහතන් වහන්සේලා පවා වැඩසිටිය භුමියක්.
අවුරුදු දහසකටත් වඩා ඉපැරණි බෝධීන් වහන්සේ නමක් පවා මේ විහාරස්ථානයේ තියෙනවා.
ඊට අමතරව අනුරාධපුර යුගයට අයත් ගල් කණු, ගඩොල්, උළුකැට මේ පුද බිමේ තිබු අවස්ථා ගනනාවකදිම හසු වුණා.
විහාරස්ථානයට යාබදව තියෙන පුද්ගලික ඉඩමක් පසුගිය කාලයේ නිවසක් හදන්න සිදු කල ඩෝසර් කිරිමකදී ඉපැරණි ගඩොල්, පැතලි හා ත්‍රිකෝණාකාර ඇතුළු වර්ග 05ක ගඩොල් තිබි හමු වුණා.
එහිදි මේ පිළිබදව පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නම ඔවුන් ඇවිත් මෙම ස්ථානය පුරාවිද්‍යාත්මකව වටිනා ප්‍රදේශයක් බව පවසා ඉදිකිරිම් තහනම් කර ගියා ගියාමයි අද වෙනකම් කිසිවකුත් ආවේ නෑ.
පන්සල් භූමියේ පොල් වලක් කැපුවත් හමුවන්නේ ඉපැරණි නටබුන් හා ගල් කණු.
විහාරස්ථාන භූමියේ ඇති ඉපැරණි බෝධීන් වහන්සේ පවා අද වන විට කැලෑවට ගොස් විනාශ වෙමින් යනවා.
විහාරස්ථානයෙන් මතුවු විවිධ නටබුන් පවා අද වන විට විවිධ ස්ථාන වල පස් වලට යට වී කැලෑවට ගොස් විනාශ වෙමින් තියෙනවා.
අපි මේවා පිළිබදව වගකිවයුතු පාර්ශව වෙත වාචිකව මෙන්ම ලිඛිතව පවා දැනුම් දුන්නා.
නමුත් අද වෙනකම් කිසිදු බළධාරියෙක් මේ පිළිබදව කිසිදු සොයා බැලිමක් සිදු කරලා නෑ.
පුරාවිද්‍යා නිළධාරීන් කරන්නේ විහාරස්ථානයේ කුමක් හෝ සංවර්ධනයකදී යම් පුරා විද්‍යාත්මක වටිකා දෙයක් හමු වුණා කියලා දැනගත්ත ගමන් ඇවිත් එය තහම් කරලා යනවා විතරයි.
ඒ පිළිබදව නිසා සොයා බැලිමක් කරන්නේ නෑ.
අපි පුරා විද්‍යා එකෙන් මේ ගැන අහුවම කියන්නේ  සල්ලි නැති නිසා කැණීම් සිදු කරන්න විදියක් නැ කියලයි.
අද වන විට විහාරස්ථානය නිදන් හොරැන්ගේ තර්ජනයට පවා ලක්වෙලයි තියෙන්නේ.
ඒ නිසා මේ තරම් වටිනා ස්ථානයක් විනාශයට යාමට නොදි මතු පරම්පරාව වෙනුවෙන් මෙය ආරක්ෂා කර දෙන්න කියා තමයි අපි ඉල්ලන්නේ..."

(සුරියවැව - නුවන් ජයසේකර)

 විහාර බිමේ නටබුන් ....

 

විහාරස්ථානයේ වැඩ සිට අපවත්වූ හිමිවරුන් ...  

වත්මන් විහාරාධිපති වටරක්ගොඩ ඤාණසිරි හිමි....

අනුරාධ පුර යුගයට අයත් ගඩොල් උළු අාදිය ....

 

 ඉපැරණි වටිනාකමකින් යුත් පුස්කොල පොත් ආදිය ......

ඕමාරේ පුඤ්ඤසිරි හිමි...

විහාරස්ථානයේ වැඩ සිටින භික්ෂූන් වහන්සේ...

වර්තමාන ඉදිකිරිම් ...

 

news24.lk
News24
sri lanka news 24
24 news