රාජ්‍ය නත්තල් උත්සවයේ අසිරිය

 12/17/2017 - 11:13
45 reads

දුගී ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ත්‍රිකුණාමලය හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති රාජ්‍ය නත්තල් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ  බව සඳහන් කළා.

සාමයේ සහ පේ‍්‍රමයේ පණිවිඩය ලොවට රැගෙන යන නත්තල ජාතින් අතර සංහිඳියාව සහ සහජීවනය ශක්තිමත් කිරීමට ඉතා වැදගත් අවස්ථාවක් බව එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

එකම රටක වෙසෙන එකම ජනතාවක් ලෙස නත්තලේ අරුත ගැඹුරින් බෙදාහදා ගැනීමේ අරමුණින්,පේ‍්‍රමයේ උපත නත්තලයි, තේමාව යටතේ මෙවර ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කය කේන්ද්‍රකර ගනිමින් රාජ්‍ය නත්තල් උත්සවය සංවිධානය කර තිබුණා.

නත්තලේ අරමුණ වන දුප්පතුන් වෙනුවෙන් පහන් ආලෝකය දැල්වීම සඳහා අප සියලුදෙනා වෙත වගකීමක් පැවරී ඇති බව ද පෙන්වාදුන් ජනාධිපතිවරයා  ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීමක් බව ද කියා සිටියා.

රටේ අනාගතය සඳහා සෑමවිටම ජාතින් අතර සාමය සහ සංහිඳියාව ශක්තිමත් විය යුතු අතර, නැවත රට තුළ යුද්ධයක් ඇතිවීමට ඉඩ නොතබා සියලු ජාතීන් සහ ආගමිකයින් අතර සංහිඳියාව ගොඩනැගීමට එක්වන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටියා.

බැතිසිතින් අසිරිමත් නත්තල සැමරීමට සූදානම් වන සියලු කිතුණු බැතිමතුන් වෙනුවෙන් මෙහිදී ජනාධිපතිවරයා  සුභාශිංසන එක් කළා.

රාජ්‍ය නත්තල් උත්සවය මෛත්‍රිපාල සිරිසේන මහතාගේප්‍රධානත්වයෙන් ඊයේ  (16) පස්වරුවේ ත්‍රිකුණාමලය හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වුණා.

කැරොල් ගායනා ඇතුළු විචිත්‍රාංග රැසකින් රාජ්‍ය නත්තල් උත්සවය වර්ණවත් වූවා.

2017 රාජ්‍ය නත්තල් උත්සවයට සමගාමීව පැවති නිර්මාණ තරගවල ජයග්‍රාහකයින්ට තිළිණ සහ සහතික පත් ප්‍රදානය කිරීම ද ජනාධිපතිවරයා එක්වුණා.

අපෝස්තලික තානාපති අතිඋතුම් පියරේ නුයෙන් වෑන් වොට් රදගුරු හිමිපාණන්, ශ්‍රී ලංකා රදගුරු සංගමයේ සභාපති හා බදුල්ල පදවි රදගුරු අතිඋතුම් දේවධර්මාචාර්ය වින්සන් ප්‍රනාන්දු රදගුරු හිමිපාණන්, ත්‍රීකුණාමලය රදගුරු අතිඋතුම් දේවධර්මාචාර්ය නොයෙල් එම්මානුවෙල් හිම්පණන් ප්‍රමුඛ හිමිපාණන් වහන්සේලා ද, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් මහරුෆ්, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇසළ වීරකෝන්, ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.ආර්. ගුණවර්ධන, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

news24.lk
News24
sri lanka news 24
24 news
The State Christmas Festival 2017
President Maithripala Sirisena
Hindu Cultural Center
Trincomalee