සැඩ පහරට හසුවූ ජීවිත නාත්තන්ඩියට

 11/06/2017 - 12:43
599 reads

ලග්ගල - තෙල්ගමු ඔයේ සැඩ පහරකට හසුවී මිය ගොස් සිටි 08 දෙනාගෙන් තිදෙනෙකුගේ සිරුර නාත්තන්ඩියට ගෙනවිත් තිබෙනවා.
ව්‍යාපාරිකයෙකු වූ  උඩුවරගේ රවීන්ද්‍ර ලසන්ත(39)
පාසල් ගුරුවරියක් වූ රුවනි දිල්රුක්ෂි (38)
රිශාදි වගීෂා (12)  යන අයගේ සිරුරු  ඔවුන්ගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

(පුත්තලම - ජුඩ් සමන්ත)

තෙල්ගමු ඔයේ  අතුරුදන්ව සිටි දැරියන් දෙදෙනාගේ සිරුරු ගොඩ එයි 

මාතලේ - ලග්ගල - තෙල්ගමු ඔයේ දිය නෑමට ගොස් අතුරුදන්ව සිටි  දැරියන් දෙදෙනාගේ මළ සිරුරු ද  අද උදෑසන සොයාගෙන තිබෙනවා.
ඒ අනුව දියේ ගිලී අතුරුදන්වූ අටදෙනාගේ මළ සිරුරු සොයාගෙන අවසන්.
අද පෙරවරුවේ මෙහෙයුම් ආරම්භ කළ කණ්ඩායම්වලට මියගිය 12 හැවිරිදි සහ 07 හැවිරිදි ගැහැණු ළමයින් දෙදෙනාගේ මළ සිරුරු හමුවී තිබුණේ ඔවුන් දිය නාමින් සිටි ස්ථානයට කිලෝමීටර භාගයක් පමණ දුරින් ජලයේ පාවෙමින් තිබියදියි.

මාතලේ ලග්ගල ඇටන්වල තෙල්ගමුව ඔයේ   වැද්දා පැනි ඇල්ල ප්‍රදේශයේ දිය නාමින් සිටි නාත්තන්ඩිය ප්‍රදේශයේ පවුල් දෙකක 10 දෙනෙකුට අධික පිරිසක්  හදිසි දිය පහරකට හසුවුණේ  04 වෙනිදා  පස්වරුවේ.

එහිදී පුද්ගලයන් අට දෙනෙකු අතුරුදන් වුණා. මේ වනවිට ඔවුන්ගේ සිරුරු සොයාගෙන අවසන්.

මියගොස් ඇත්තේ
සංචාරක හෝටල් හිමිකරුවෙකු වූ කිංස්ලි රත්නායක (40)
ඔහුගේ දියණියන් වන රත්නායක මුදියන්සේලාගේ චිත්‍රානි රත්නායක (12)
රත්නායක මුදියන්සේලාගේ හිරුනි  දිල්හාරා රත්නායක (4)
හෝටල් හිමිකරුගේ නැන්දනිය  වන මානාවිටගේ  චන්ද්‍රකාන්ති (59)
අනෙක්‌  පවුලේ...  උඳුවරගේ රවින්ද්‍ර  වසන්ත (38)
ඔහුගේ බිරිඳ   ජයමහා  ආරච්චිගේ රමණී දිල්රුක්ෂි (37)
ඔවුන්ගේ  දියණියන් වන උඳුවරගේ ක්‍රිෂාන් වනිෂා (12)
උඳුවරගේ ඉමාෂා විදුෂා (07)
යන අයයි.

මියගිය කිංස්ලි රත්නායක මහතා ලග්ගල ඇටන්වල  ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිකරමින් සිටින නිසා නාත්තන්ඩිය ප්‍රදේශයේ තවත් මිතුරු පවුලක කණ්ඩායමක් සමඟ පසුගිය තුන් වෙනි දින උදෑසන ලග්ගල ඇටන්වල ප්‍රදේශයට පැමිණ තිබෙනවා.

පසුව පවුල් දෙකේ පිරිස දිය නෑම සඳහා  වැද්දා පැනි ඇල්ල ස්ථානයට ගිය බවයි  මියගිය කිංස්ලි රත්නායක මහතාගේ බිරිඳ දුලීකා මාරසිංහ මහත්මිය පවසන්නේ.

තම ස්වාමි පුරුෂයා දරුවන් දෙදෙනාත් මවත්  අසල්වැසි මිතුරන්ගේ දරුවන් සහ එම දෙපළ ද දිය නාමින් සිටි බවත්, තමා පියා සිටින ඉසව්වට  යන අවස්ථාවේ දණහිස්  පමණ වතුර තිබුණු  බවත්, එකවරම විශාල ජල කඳක් රල  පහරක් සේ  ගසා ගෙන පැමිණි බවත්  ඇය සඳහන් කළා.

මෙම කණ්ඩායම දිය  පහරට හසුව ගසා ගෙන යෑමත් සමඟ ප්‍රදේශවාසීන් පැමිණ ගසාගෙන ගිය පිරිස සෙවීමේ කටයුතු ආරම්භ කළා.

පසුව ලග්ගල පොලිසිය මෙන්ම  පොලීස් ජීවිතාරක්ෂක  නිලධාරීන්ද හමුදා කණ්ඩායම් ද  අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම්වල  නිරත වුණා.

ප්‍රදේශවාසීන් කියා සිටියේ ඉහළ  ප්‍රදේශවලට ලැබෙන වර්ෂාවත් සමඟ හිටි හැටියේ මෙම ස්ථානයේ  ජලය විශාල වශයෙන් වැඩි වන බවයි.

ප්‍රදේශවාසීන් ඒ බව හොඳින් දන්නා නමුත්,  සංචාරය සඳහා පැමිණෙන බොහෝ දෙනකු ඒ බව නොදන්නා බවයි  ලග්ගල පොලිසියේ ස්ථානාධිපති එම්.කේ. අමරසිංහ මහතා  සඳහන් කළේ.

දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති නිමල් කනහැරආරච්චි මහතා මේ ස්ථානයේ දී කියා සිටියේ නිරන්තරයෙන් සංචාරකයන් විශාල වශයෙන් වැද්දා පැනි ඇල්ල ප්‍රදේශයට පැමිණෙන  නමුත් මෙහි අවදානම් තත්ත්වය පිළිබඳ දැන්වීම් පුවරුවක් හෝ සංචාරකයන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් නොමැති නිසා මෙම අනතුරු සිදු වන බවයි.

කිංස්ලි රත්නායක මහතාගේ බිරිඳ දුලීකා මාරසිංහ මහත්මිය සිද්ධිය පිළිබඳ මෙලෙස පැවසුවා.

"..මේ ප්‍රදේශයේ අපේ මහත්තයා හෝටලයක් ඉදි කරමින් ඉන්නවා.
මීට දින කීපයකට පෙර එයා ඇවිල්ලා වැඩ බලලා ගියේ.
අපේ මහත්තයගේ යාලුවෙකුගේ  උපන්දිනය  තිබුණා.
එයාලා කිව්වා හෝටලේ පැත්තට ගිහිල්ලා විනෝද වෙමු කියලා.
අපි  තුන්වැනිදා තමයි මෙහෙට ආවෙ.
අපි නාන්න  එනකොට දනිස්  වටක්වත් වතුර තිබුණේ නෑ.
මගේ චූටි දරුවා වතුරේ හිටියා.
අනිත් අය ඊට එහායින්  හිටියේ.
එයාගේ සෙරෙප්පු දෙකත් වතුරට ගසා ගෙන යනකොට එයා ඒක ගන්නත් උත්සාහා කළා.
තවත් කට්ටියක් එතන නාමින් හිටියා.
මම එතන ඉඳලා තාත්තා ඉන්න තැනට ගියා තාත්තගේ සෙරෙප්පු දෙක දෙන්න.
මගේ පොඩි දරුවා අම්මට අල්ලගන්න කියලා තමයි මම තාත්තා ළඟට ගියේ.
තාත්තා කිව්වා වතුර පාර හයියෙන් කඩාගෙන එනවා කියලා.
මම එතෙන්ට ඉක්මනට ගියා.
වතුර පාර හයියෙන් එනකොට අපේ කට්ටිය එක එක්කෙනා අල්ලගෙන රොදට  වගේ හිටියා.
මම හයියෙන් කෑගැහුවා... හිමීට හිමීට ගොඩට එන්න ගොඩට එන්න කියලා.
ඒත් එන්න එන්නම වතුර පාර සැර වුණා.
ඉස්සරලාම එයාලා අල්ලං හිටපු රෝදේ කැඩුනා.
එක එක්කෙනාව ගසාගෙන යන්න ගත්තා.
මගේ මහත්තයා ගසා ගෙන ගිහිල්ලා වැළක එල්ලිලා ගොඩක් වෙලා හිටියා.
ගොඩ එන්න උත්සාහ කරමින්.
එතන හිටපු කිහිප දෙනෙක් යකඩ කූරක් දීලා එයා උඩට ගන්න හැදුවා.
යකඩ කූර අල්ලන්ට හදනකොටම අතහැරිලා මහත්තයත් ගසාගෙන ගියා.
මගේ මහත්තයයි මගේ දරුවො දෙන්නයි මගේ අම්මයි ගසාගෙන ගියා.
අපිත් එක්ක ආපු අනිත් පවුලේ අයියයි එයාගෙ නෝනයි එයාලගේ දුවලා දෙන්නයි ගසාගෙන ගියා..."

 

 

news24.lk
News24
sri lanka news 24
24 news
Thelgamuwa Oya