වෙළදාම සහ ආයෝජන පිළිබඳ රාමුවක් සැකසීමේ ගිවිසුම

 11/02/2017 - 15:08
44 reads

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර වෙළෙඳ හා ආයෝජන සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳ ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (02) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැති හමුවේදී අවධාරණය කෙරුණා.

වත්මන් රජය පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් පිහිටුවීමට ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය අගය කළ ටර්න්බුල් මහතා, ඒ සඳහා ඔස්ට්‍රේලියාවේ පූර්ණ සහය ලබාදෙන බව සඳහන් කළා.
 
ඊට අවශ්‍ය නිති රීති කෙටුම් පත් කර ඇති බවත්,  කතානායක කරු ජයසූරිය මහතා මේ පිළිබඳ ඕස්ට්‍රේලියාව සමග සම්බන්ධීකරණ කටයුතු කරනු ඇති බවත්  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරලීමේ අභිලාශය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළා.

එසේම ඉන්දීය සාගරයේ නිදහස් නාවික ගමනාගමනය තහවුරු කරලීමේ අවශ්‍යතාවයද, මේ ප්‍රයත්නය සම්බන්ධයෙන් ඉන්දියාව, ජපානය,සිංගප්පූරුව සහ ඉන්දුනීසියාව දැනටමත් සහය ලබා දෙන බවද වික්‍රමසිංහ මහතා අවධාරණය කළා.

එමෙන්ම මත්තල සහ හම්බන්තොට සංවර්ධනය සඳහා ඉන්දියාව මෙන්ම චීනයේ ද සහයෝගය ලැබෙන බව කී අගමැති  වික්‍රමසිංහ මහතා චීනයේ  'එක් තීරයක් – එක් මාවතක්’ ප්‍රයත්නය සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධ වන ආකාරය පිළිබඳව ද මෙහිදී කරුණු සාකච්ඡා කළා.

මේ අතර මාලදිවයිනේ ඇති වී තිබෙන තත්ත්වය කෙරෙහි අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරුන් දෙපළ එරට නිදහස් සහ සාමකාමී ඡන්දයක් පැවැත්වීම සඳහා සහයෝගය ලබාදීම කෙරෙහිද කරුණු දැක්වූවා.
 
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පිළිබඳව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාට දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළා.

දෙරට අතර වෙළදාම සහ ආයෝජන පිළිබඳ රාමුවක් සැකසීමේ ගිවිසුමකට  ද අග්‍රාමාත්‍යවරුන් ඉදිරියේ  අද අත්සන් තැබුවා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මියත්, ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හචිසන් මහතාත්   මෙම ගිවිසුමට අත්සන් තැබුවා.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ඕස්ටට්‍රේලියාවේ ජාතික ආරක්ෂක උපදේශක ජස්ටින් බාසි සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරු මේ සාකච්ඡාවට සහභාගී වූවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා වෙත උදෑසන භෝජන සංග්‍රහයක් ද පිරිනැමුණු අතර තමන් ජීවිත කාලය පුරා විදි රසවත්ම උදෑසන ආහාරය එය බව ටර්න්බුල් මහතා පැවසූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

news24.lk
News24
sri lanka news 24
24 news
Malcolm Turnbull
Ranil Wickramasinghe