ඇ‍මෙරිකා නාවික හමුදාවේ විශාලතම සහ පැරණිතම නෞකාව ශ්‍රී ලංකාවට

 10/28/2017 - 18:00
213 reads

ඇ‍මෙරිකානු නාවික හමුදාවට අයත් විශාලතම සහ පැරණිතම නෞකාව වන ‘නිමිට්ස්’ නෞකාව ඇතුළු ඇමෙරිකානු ප්‍රහාරක නෞකාවන් වන ‘ප්‍රින්ස්ටන්’, ‘හොවාර්ඩ්’, ‘ශවුප්’, ‘පින්ක්නේ’ සහ ‘කිඩ්’ නෞකාවන් සුහද සංචාරයක් සඳහා (28) කොළඹ වරායට ‍සේන්දු වූවා.

එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් පිළිගත් අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්ෂ නාවික මෙහෙයුම්, කොමදෝරු සංජිව ඩයස් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගි වූවා.

ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් ගුවන් යානා සහිත ප්‍රහාරක නෞකා සමූහයක් අවසන් වර‍ට ලංකාවට  පැමිණ ඇත්තේ 1985 දී.

වසර 32කට පසුව ශ්‍රී ලංකාවට පැමිණි මෙම නෞකාවන් මෙම මස මුල් සතියේ දෙරට අතර පැවැති ‘සූදානම පුහුණුව සහ දියමත සහයෝගිතාවය’ (Cooperation Afloat Readiness and Training Exercise) නම් ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය සාර්ථකව අවසන් කිරීම සංකේතවත් කරමින් මෙරටට පැමිණයා

 ‘නිමිට්ස්’ නෞකාව ප්‍රහාරක ගුවන් යානා සහ ප්‍රහාරක යාත්‍රා වලින් සමන්විත වන අතර, නෞකාව දිගින් මිටර් 333කින් යුක්තයි.. මෙහි කාර්ය මණ්ඩලය 5000ක්.
නෞකාවේ මුළුතැන් ගෙය මගින් දිනකට සපයනු ලබන ආහාර වේල් ප්‍රමාණය 18,000ක්.

ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් තිබු  ‘නිමිට්ස්’ නෞකාව නැරඹීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහ වරාය හා නාවික කටයුතු අමාත්‍ය  මහින්ද සමරසිංහ මහතා ඇතුළු පිරිසක් නෞකාවේ චාරිකා වාරයක නිරතවුණා.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අතුල් කේෂාප් මහතා,  ආරක්ෂක මාණ්ඩලීක ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම්  රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද එක් වූවා.

ඒ සඳහා ඇමෙරිකානු නාවික හමුදාවට අයත් බැලැක් හොක් වර්ගයේ ගුවන් යානයක් යොදා ගැනුණා.

සිව් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි නෞකාවන්හි කාර්යය මණ්ඩලය දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්‍රීඩා තරඟ ඇතුළු වැඩසටහන් රාශියකට ද සහභාගී වීමට නියමිතයි.

මෙම නෞකාවන් සිව්දින නිල සංචාරය නිම කොට එළඹෙන 31 වන දින‍ කොළඹ වරායෙන් පිටත් වීමට නියමිතයි.

 

 

 

news24.lk
News24
sri lanka news 24
24 news
US Nimitz Carrier