හෙරොයින් කිලෝ 100ක් සමග තවත් ඉරාන ජාතිකයන් 9ක් අල්ලයි – සාක්ෂි විනාශ කිරීමට යාත්‍රාවට ගිනි

35

කිලෝ 100කට අධික හෙරොයින් තොගයක් සමග ඉරාන ජාතිකයින් 09 දෙනෙක් ඉන්දීය මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 500කට අධිකයි.

ලද තොරතුරක් මත, නාවික හමුදා මැරීන් බලඝණය සහ වෙරළාරක්ෂක බලකාය එක්ව ඒකාබද්ධ මෙහෙයුම ක්‍රියාත්මක කළ බව ඉන්දීය ත්‍රස්ත විමර්ශන කාර්යාංශය පැවසුවා.

සැකකටයුතු යාත්‍රාව සොයා විමර්ශන ආරම්භ කර පැය 24ක් ගතවීමට මත්තෙන් ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ යාත්‍රාවක් මගින් මෙම හෙරොයින් තොගය රැගත් යාත්‍රාව ලුහුබැඳ තිබුණා.

ඉන්දීය ආරක්ෂක අංශ පසුපස එන බව දැනගත් ඉරාන ජාතිකයින් සාක්ෂි විනාශ කිරීමේ අරමුණින් යාත්‍රාවට ගිනි තබා තිබෙනවා.

කෙසේ වෙතත් වහා ක්‍රියාත්මක වූ ආරක්ෂක නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දරා යාත්‍රාවේ තිබුණු හෙරොයින් කිලෝ 100කට අධික ප්‍රමාණය සිය භාරයට ගත්තේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් ද අත්අඩංගුවට ගනිමින්.

ඉන්ධන ලීටර 24000ක් සහ ගෑස් සිලින්ඩර කිහිපයක් ද සහිත වූ හෙරොයින් තොගය රැගෙන ආ ගිනි ගත් යාත්‍රාව මුහුදුබත් වුණා.

විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ හෙරොයින් තොගය පකිස්තානයේ ග්වාර්ඩර් (Gwadar) වරායෙන් යාත්‍රාවට පටවා ඇති බවයි.

පකිස්තානයේ හමීඩ් මාලෙක් (Hamid Malek) නම් ප්‍රසිද්ධ මත්කුඩු ජාවාරම්කරු මෙය මෙහෙයවා තිබෙනවා.

මේ අතර රුපියල් කෝටි 120කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 100කට අධික ප්‍රමාණයක් සහිත බහුදින යාත්‍රාවක් සමඟ ඉරාන ජාතිකයන් 09 දෙනෙකු පසුගිය 24 වනදා ශ්‍රී ලංකා දකුණු මුහුදු ප්‍රදේශයේ දී ද අත්අඩංගුවට ගත්තා.

ඒ නාවික හමුදාවේ සහය ඇතිව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය දකුණු මුහුදේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී.

Your Comments