ලොව පළමු කොවිඩ්-19 එන්නත රුසියාවෙන් – ඕනෑම පාර්ශ්වයක් සමග එක්ව වැඩිදියුණු කිරීමට රුසියාව සූදානම්

23

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි දෙකක් ඉක්මවා ඇති අවස්ථාවක කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසයට එරෙහි ලොව ප්‍රථම එන්නත නිපදවීමට රුසියාව සමත් ව තිබෙනවා.
මෙම එන්නත රුසියාවේ මොස්කව් හි පිහිටි ගැමාලෙයා අයාතනය මගින් මෙම එන්නත නිෂ්පාදනය කර ඇති අතර ඒ සඳහා රුසියානු සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතියද ලැබී තිබෙනවා.
එලෙස අනුමැතිය ලැබීමෙන් අනතුරුව අදාළ එන්නත රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ගේ දියණියට ද ලබාදී දුන් බව ජනාධිපති ව්ලැද්මීර් පුටින් කියා සිටියා.
මාස දෙකක පමණ කාලයක් සායනික පරීක්ෂා කිරීම්වලින් අනතුරුව මෙම අවසර ලබාදී ඇති බවයි රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසන්නේ.
එන්නත සොයා ගැනීමේ ව්‍යාපෘතියට මූල්‍ය දායකත්වය සැපයූ අරමුදලේ ප්‍රධානියා කියා සිටියේ කොවිඩ් සඳහා නිෂ්පාදනය වූ ලොව එකම සාර්ථක එන්නතද මෙය වන බවයි.
එන්නත ලියාපදිංචිය තෙවන අදියරේ සායනික පරීක්ෂණවල අවසන් වාර්තාවන්ට යටත්ව පමණක් නිකුත් කර ඇති බවටත් එම එන්නත කොවිඩ් 19 මර්දනය කිරීමට සුදුසු බවට තමන් විශ්වාස කරන බවටත් රුසියානු සෞඛ්‍ය අමාත්‍යංශය පවසා තිබෙනවා.
කඩිනම් නොවී නියමිත ප්‍රමිතීන්ට අනුව එන්නතේ පරීක්ෂණ පවත්වන ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානයද රුසියාවට දැනුම් දී ඇති බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ.
මේ අතර රුසියාව පවසන්නේ ලොව ඕනෑම පාර්ශ්වයක් සමග එක්ව මෙම කොරෝනා මර්දන එන්නත වැඩිදියුණු කිරීමට සූදානම් බවයි.
එසේම ජත්‍යන්තර සහයෝගය ලබාගනිමින් එන්නත වැඩිදියුණු කිරීමේ අරමුණ කොරෝනා ව්‍යාප්තිය වැළැක්විය හැකි ප්‍රතිකාර ක්‍රම තහවුරු කිරීම බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රුසියානු නියෝජිතයා සඳහන් කර ඇතතේ.
ස්පුට්නික් ෆයිව් යනුවෙන් නම් කළ ලොව ප්‍රථම කොරෝනා මර්දන එන්නත පසුගිය 11 වනදා හඳුන්වා දුන් අතර අමෙරිකාව, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් සහ ඇතැම් විද්‍යායින්ද මෙම එන්නතෙහි ආරක්ෂිතභාවය සහ ප්‍රතිඵලදායකභාවය පිළිබඳ සැක පළ කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Your Comments