කෝවිඩ් ගෝලීය වසංගතය තීරණාත්මක සංධිස්ථානයක- ඩබ්ලිව් එච් ඕ කියයි

50

කොවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වය තුළ ලෝකය මේ වනවිට තීරණාත්මක සංධිස්ථානයකට පැමිණ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් ඇඞ් හැනොම් ජිනීවා නුවරදී ඊයේ ප්‍රකාශ කළේ ඇතැම් රටවල් එහිදී අනතුරුදායක ගමන් මඟකට යොමු වී ඇති බවයි.

විශේෂයෙන් උතුරු අර්ධ ගෝලයේ රටවල් එම තත්ත්වයට මුහුණදෙන බවයි ඔහු සඳහන් කළේ.
ඉදිරි මාස කිහිපය ඇතැම් රටවලට අතිශය දුෂ්කර මෙන්ම අනතුරුදායක විය හැකියි.

මේ නිසා අනවශ්‍ය ලෙස තවදුරටත් ජීවිත හානි සිදුවීම, සෞඛ්‍ය සේවා අඩාල වීම සහ පාසල් ආදිය වසා දැමීම වැළැක්වීමට වහා පියවර ගන්නා ලෙස සියලු නායකයන්ගෙන් ඉල්ලා සිටින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කළේ.

යුරෝපයේ රටවල් කිහිපයකම පළමු කොරෝනා රැල්ලට වඩා වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් දෙවන රැල්ල තුළින් වාර්තා වනවා.

මෙලෙස කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යෑම එම රටවල මහජන සෞඛ්‍ය සේවාවන් තර්ජනයට ලක් කරන අතර, එය දැඩි සැලකිල්ලක් යොමුකළ යුතු වසංගත රෝග තත්ත්වයක් ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා හදුන්වා ඇත්තේ.

Your Comments