ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නඩු

 06/15/2017 - 08:03
12 reads

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ව්‍යාපාරික කටයුතු හරහා විදේශීය රටවල ආණ්ඩුවලින් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පැවරීමට ඩිමොක්‍රටික් පක්ෂයේ කොංග්‍රස් සභිකයන් 200 කට ආසන්න පිරිසක් සැලසුම් කර තිබෙනවා.
කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව විදේශ ආණ්ඩුවලින් ගාස්තු ලබාගත නොහැකි බව ඇමෙරිකානු ව්‍යවස්ථාවේ සඳහන්.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ඇමෙරිකානු ජනාධිපතිවරයෙකුට එරෙහිව නඩු පැවරීම සඳහා සම්බන්ධ වූ වැඩිම කොංග්‍රස් සභිකයන් පිරිස මෙය බවයි.
ජනාධිපතිවරයාට එරෙහිව නඩු පවරන බව මේරිලන්ඩ් ප්‍රාන්තයේ කොළම්බියා දිස්ත්‍රික්කයේ නීතිපතිවරුන් ද නිවේදනය කර තිබුණා.
එහෙත් මෙම චෝදනා ධවල මන්දිරය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
කෙසේ වෙතත් අධිකරණ දෙපාර්තමේන්තුව කියා සිටියේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් පෞද්ගලික මට්ටමින් ගන්නා ලද තීන්දු තීරණ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පැවරිය නොහැකි බවයි.
හෝටල් සහ නිවාඩු නිකේතන, ගොල්ෆ් පිටි, සුඛෝපභෝගී මහල් නිවාස ඇතුළු ව්‍යාපාර පන්සීයකට අධික සංඛ්‍යාවක් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ව්‍යාපාර ජාලයට ඇතුලත්.
ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු සිය ව්‍යාපාරික කටයුතු සහ වෙනත් දේපළ සම්බන්ධයෙන් එදිනෙදා පාලනය ගෙන යාම සිය වැඩිමහල් පුතුන්ගේ කළමණාකාරීත්වය යටතේ පවතින භාරකාර මණ්ඩලයකට පැවරීමට ජනාධිපති ට්‍රම්ප් කටයුතු කළා.