සිරියාවේ රසායනික ප්‍රහාර සාක්‍ෂි විනාශ කළ බවට අමෙරිකාවට චෝදනා

 04/17/2018 - 12:50
10 reads

සිරියානු රජයේ හමුදා රසායනික අවි ප්‍රහාරයක් එල්ල කළ බවට පැවසෙන ඩූමා ප්‍රදේශයට ජාත්‍යන්තර රසායනික අවි නිරීක්‍ෂකයින් පැමිණීමට දිනක් තිබියදී බටහිර රටවල් විසින් එල්ල කළ ප්‍රහාරය පිළිබඳව රුසියාව සැක පළ කරනවා.

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොෆ් ප්‍රකාශ කළේ එම ප්‍රහාර හේතුවෙන් එහි රසායනික අවි ප්‍රහාරයක් සිදු වූවා ද යන්න පිළිබඳව සැබැවින්ම පරීක්‍ෂා කිරීම දුෂ්කර වී ඇති බවයි.

සිරියානු රජය ආරක්‍ෂා කර  ගැනීම වෙනුවෙන් රුසියාව ද අදාළ ප්‍රදේශයේ සාක්‍ෂි විනාශ කළ බවට අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් එල්ල කරන චෝදනා ද ප්‍රතික්‍ෂේප කරන බවයි රුසියානු විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

අමෙරිකාව ප්‍රමුඛ රටවල් සිරියාවේ ඩූමා ප්‍රදේශයට ප්‍රහාර එල්ල කරනු ලැබුවේ සිරියානු රජයේ හමුදා එරට සාමාන්‍ය ජනතාවට රසායනික අවි ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා කරමින්.

එසේ රසායනික අවි ප්‍රහාරයක් එල්ල වී ඇත්නම් ඒ පිළිබඳව තාක්‍ෂණික පරීක්‍ෂාවක් සිදු කරන ලෙස රුසියාව එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක් ද කළා.

එම ඉල්ලීම මත අදාළ ප්‍රදේශයට විශේෂ පරීක්‍ෂණ කණ්ඩායමක් පැමිණීමට පෙර යළිත් වතාවත් අමෙරිකාව විසින් ගුවන් ප්‍රහාරයක් දියත් කරනු ලැබුවා.

   

එම ගුවන් ප්‍රහාරය නිසා රසායනික ප්‍රහාරයක් මීට පෙර සිදු වූ බවට වන සාක්‍ෂි සොයාගැනීම ද අදාළ කණ්ඩායමට අසීරු වනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

සත්‍ය ලෙසම ඩුමා ප්‍රදේශයේ රසායනික අවි ප්‍රහාරයක් එල්ල වී නොතිබුනේනම් අමෙරිකාව විසින් ඩුමා ප්‍රදේශයට කළ පහරදීම ඉතා අසාධාරන බව ද මධ්‍යස්ථ මතධාරී මාධ්‍ය පෙන්වාදෙනවා.

අදාළ පරීක්‍ෂණයකින් රසායනික අවි ප්‍රහාරයක් එල්ල නොවූ බවට වාර්තාවක් නිකුත් වුවහොත් අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලට සමස්ථ ලෝකයෙන්ම බරපතල චෝදනාවක් එල්ලවීමට ඉඩ තිබූ බව සඳහන්.

එම නිසා එක්සත් ජාතීන්ගේ පරීක්‍ෂණ කණ්ඩායම අදාළ ප්‍රදේශයට පැමිණීමට පෙර අමෙරිකාව විසින් යළි ඩූමා ප්‍රදේශයට ප්‍රහාර එල්ල කළ බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වාදෙන්නේ.

තමන් විසින්ම එල්ල කළ ප්‍රහාරයෙන් පසුව අදාළ ප්‍රදේශයේ සාක්‍ෂි විනාශ වී ඇතැයි අමෙරිකාවම ප්‍රකාශ කිරීම හාස්‍යය කරුණක් බවයි රුසියානු මාධ්‍ය වාර්තා කරන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news