සිරියාවට එරෙහි බටහිර ප්‍රහාරවලට චීනයෙන් සහ රුසියාවෙන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ අවධානම ඉහළට

 04/14/2018 - 18:57
170 reads

අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය විසින් සිරියාව ඉලක්ක කරමින් එල්ල කරමින් පවතින ප්‍රහාර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.
උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන් වහා එක්සත් ජාතීන්ගේ රැස්වීමක් කැදවිය යුතු බවයි රුසියානු ජනාධිපතිවරයා එරට රජයේ රූපවාහිනිය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ.
බටහිර රටවල් ආරම්භ කර ඇති මෙහෙයුම් ආක්‍රමණකාරී ක්‍රියාවක් ලෙස ද ව්ලැදිමීර් පුටින් හදුන්වා දී තිබෙනවා.
අදාළ ප්‍රහාරවලට දැඩි ප්‍රතිවිපාක වලට මුහුණ දීමට අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලට සිදුවනු ඇති බවයි රුසියාව අවධාරණය කරන්නේ.
පසුගිය සතියේ දී සිරියාවේ සිදු වූ රසායනික අවි ප්‍රහාරය එරට රජය විසින් එල්ල කළ බවට චෝදනා නගමිනුයි බටහිර රටවල් සිරියාවට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ.
චීනය ද අදාළ ප්‍රහාර දැඩි ලෙස හෙලා දකිමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මේ අතර සිරියාවට එරෙහිව ආරම්භ කර ඇති යුධ මෙහෙයුම් නීත්‍යානුකූල සහ නිවැරදි තීරණයක් බව බ්‍රිතාන්‍ය පවසනවා.
මේ වන විට සිදු කරන ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය වන තෙරේසා මේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ බව සඳහන් කළා.
සිරියානු අර්බුදය විසදීම සඳහා වෙනත් විකල්පයක් නොමැති බවයි ඇය පෙන්වා දෙන්නේ.
පසුගිය සතියේ දී සිරියාවේ සිදු වූ රසායනික අවි ප්‍රහාරය එරට රජය විසින් එල්ල කළ බවට චෝදනා නගමිනුයි බටහිර රටවල් සිරියාවට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ.
එම ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සඳහන් කර ඇත්තේ මෙය දැඩි ඛේදවාචකයක් බවයි.
එමෙන්ම ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් සඳහා එය දැඩි බාධාවක් බව ද ඔහු පෙන්වා දෙනවා.
මේ අතර, අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සිරියාවට එල්ල කළ මිසයිල 65ක් පමණ අතරමගදී විනාශ කර දැමීමට සිරියානු ආරක්ෂක අංශ සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ එල්ල කළ ප්‍රහාර අතිශය සාර්තක බවයි.

සම්බන්ධිත පුවත් 

 

news24.lk
News24
sri lanka news 24
24 news