UPDATE : සිරියාවට එරෙහිව අමෙරිකාව සටන අරඹයි

 04/14/2018 - 12:18
134 reads

බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ සහයෙන් සිරියාවේ රසායනික අවි පරිශ්‍ර වෙත ප්‍රහාර එල්ල කිරීමට තමා අනුමැතිය ලබා දුන් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ජාතිය අමතමින් ඔහු මේ බව කියා සිටියා.
ඒ අනුව සිරියාවේ ඩමස්කස් අගනුවර කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට පිපිරීම් කිහිපයක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය සතියේ සිරියාවේ ඩුමා නගරයට එල්ල වූ රසායනික අවි ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් මෙම ප්‍රහාරය අමෙරිකාව විසින් සිදුකර තිබෙනවා.
සිරියාව සම්බන්ධයෙන් අමෙරිකාව ගෙන යන මෙහෙයුම්වලට සහය ලබා දීමට පසුගිය දා අග්‍රාමාත්‍ය තෙරේසා මේගේ ප්‍රධානත්වයෙන් රැස්වූ බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලය ද තීරණය කළා.
එමෙන්ම සිරියානු සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් රසායනික ප්‍රහාර එල්ල කළ බවට සාක්ෂි තමන් සතු බවත් ඒවා ඉදිරියේදී හෙලි කිරීමට සූදානම් බවත් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් කියා සිටියා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිරියාවේ රසායනික අවි පරිශ්‍ර වෙත ප්‍රහාර එල්ල කිරීමේ අනුමැතිය ලබා දුන්නේ මෙවන් පසුබිමකදීයි.
කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් පවසන්නේ අමෙරිකාවේ මෙම ක්‍රියා කළාපය හමුවේ සීතල යුද්ධයක් ප්‍රතිනිර්මාණය වෙමින් පවතින බවයි.
මේ අතර, අමෙරිකාව සිරියාවට එරෙහිව ආරම්භ කර ඇති ප්‍රහාර සම්බන්ධයෙන් රුසියාව අනතුරු ඇගවීමක් කර තිබෙනවා.
අමෙරිකාවේ රුසියානු තානාපතිවරයා සඳහන් කරන්නේ එහි ප්‍රතිවිපාක අමෙරිකාවට අත්විදීමට සිදුවන බවයි.


UPDATE: සිරියාවට එරෙහිව මිසයිල ප්‍රහාර එල්ල කිරිමේ කිසිදු වෙනසක් නොකරන බව බ්‍රිතාන්‍ය කියයි [04/14/2018 - 10:35]

සිරියාවට එරෙහි මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ කිසිදු වෙනසක් සිදු නොවන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ පවසනවා.

ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ සිරියාවේ රසායනික අවි විනාශ කිරීමට වෙනත් විකල්පයක් නොමැතිවීම හේතුවෙන් මෙම ප්‍රහාර සිදු කිරීමට සිදුව ඇති බවයි.

මේ වන විට සිරියාවට එල්ල කරන ප්‍රහාර හමුවේ සිය රාජකීය ගුවන් හමුදා, ප්‍රහාරක ජෙට් යානා, රසායනික අවි ගබඩා කර ඇති ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර සිදු කර ඇති බව බ්‍රිතාන්‍ය ආරක්ශක අමාත්‍යාංශය පවසනවා.

මේ අතර, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශයේ සහයෙන් සිරියාවේ රසායනක අවි පරිශ්‍ර වෙත ප්‍රහාර එල්ල කිරීමට අනුමැතිය ලබා දුන් බව අමෙරිකානු ජනාධිපතිවරයා ද ජාතිය අමතමින් ප්‍රකාශ
කළා.


UPDATE:  අමෙරිකාව සිරියාවට ප්‍රහාර එල්ල කිරීම අරඹයි [04/14/2018 - 10:00]

අමෙරිකාව සිරියාවට ප්‍රහාර එල්ල කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

සිරියාවේ ඩමස්කස් අගනුවර කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට පිපිරීම් කිහිපයක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය සතියේ සිරියාවේ ඩුමා නගරයට එල්ල වූ රසායනික අවි ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් මෙම ප්‍රහාරය අමෙරිකාව විසින් සිදුකර තිබෙනවා.

සිරියාවේ රසායනික අවි නිෂ්පාදනය කරන ස්ථානවෙත ප්‍රහාර එල්ල කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කළ අතර ඊට ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය ද සහය දක්වන බවට ප්‍රකාශ නිකුත් කර තිබුණා.


සීතල යුද්ධයක් ගැන ජගත් සංවිධාන මහ ලේකම්ගෙන් අනතුරු ඇගවීමක් [04/14/2018 - 09:35]
සිරියානු අර්බුදය සීතල යුද්ධයක් බවට පත්වී පලිගැනීමේ සටනක් දක්වා වර්ධනය වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
එහි මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් මේ බව කියා සිටියේ සිරියාව සම්බන්ධයෙන් ඇතිවිය හැකි යුධමය තත්ත්වය පිළිබඳ අනතුරු ඇගවීමක් සිදුකරමින්.
සිරියාවේ ඩුමා නගරයට එල්ල වූ රසායනික අවි ප්‍රහාරයකින් පසු අමෙරිකාව මේ වන විට සිරියාවට එරෙහිව ප්‍රහාරයක් දියත් කිරීමේ සූදානමක් පවතින බවත් ඊට හුදෙක් රුසියාව, සිරියාවට දක්වන සහයෝගය බලපා ඇති බවත් හෙතෙම පෙන්වා දෙනවා.
ඒ අනුව රුසියාව සහ අමෙරිකාව එක්ව යුධමය තත්ත්වයක් ආරම්භ කිරීමේ අවධානමක් පවතින බවයි හෙතෙම සඳහන් කරන්නේ.
බි්‍රතාන්‍යය ද ප්‍රහාර එල්ල කිරීමක් සම්බන්ධයෙන් රුසියාවට චෝදනා කර ඇති අතර එය ව්‍යාජ චෝදනාවක් බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news