UPDATE : ප්‍රධාන ගංගා තුනක් පිටාර මට්ටමේ – නුවර එළියට නායයාමේ අවධානමක්

5

නුවරඑළිය දිස්ත්‍රික්කයේ, අඹගමුව, කොත්මලේ සහ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ සදහා නායයාම් අනතුරු ඇගවීම් නිවේදනයක් අද පස්වරුවේ නිකුත් කළා.
ඉදිරි පැය 24 තුළ අදාළ ප්‍රදේශවල කදුකර සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල මෙම අවධානම පවතින බවයි ආපදා කලමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ.

මේ අතර, මධ්‍යම කඳුකරයට තවදුරටත් ඇදහැලෙන තද වැසි හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ සහ කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙක බැගින් විවෘත කර තිබෙනවා.
නෝටන්බි්‍රජ් සහ විමලසුරෙන්ද්‍ර ජලාශයද මේ වන විටත් වාන් දමමිනුයි පවතින්නේ.
මේ අතර ලක්ෂපාන ජලාශයේ සහ කැනියොන් ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම සහ විමලසුරේන්ද්‍ර ජලාශය වාන් මැමීම හේතුවෙන් කැළණිගගේ ජල මට්ටම තරමක් ඉහල ගොස් ඇති බව ආපදා කළමණාකරණ ඒකකය සඳහන් කළා.
ඒ අනුව කළු, ගිං සහ කැළණි ගඟ ආශ්‍රිතව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගං වතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
කළු ගඟ රත්නපුර ප්‍රදේශයෙන්ද, ගිං ගඟ, තවලම ප්‍රදේශයෙන්ද, කැළණි ගඟ දැරණියගල සහ කිතුල්ගල ප්‍රදේශයෙන්ද විමසිලිමත්විය යුතු මට්ටමට පැමිණ ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, මධ්‍යම, සබරගමුව, පළාත්වල මෙන්ම ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 150 ඉක්මවූ තද වර්ෂාපතනයක් බලාපොරොත්තු වන බව ද ආපදා කලමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළා.

 


නුවරඑළිය දිස්ත්‍රිකයට නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් [Aug 13, 2019 @ 18:10]
 

නුවරඑළිය දිස්ත්‍රික්කයේ, අඹගමුව, කොත්මලේ සහ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ සදහා නායයාම් අනතුරු ඇගවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඉදිරි පැය 24 තුළ අදාළ ප්‍රදේශවල කදුකර සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල මෙම අවධානම පවතින බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළේ

මේ අතර, මධ්‍යම, සබරගමුව, පළාත්වල මෙන්ම ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 150 ඉක්මවූ තද වර්ෂාපතනයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එමෙන්ම, වයඹ පළාතේ සහ කොළඹ, ගම්පහ, මාතර මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට ද මිලිමීටර් 75 ත් 100ත් අතර තද වැසි අපේක්ෂිතයි.

අද දහවල් 12.30 න් අවසන් වූ පැය 4 ක කාලය තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල ප්‍රදේශයෙන් මිලිමීටර් 110 ක උපරිම වර්ෂාපතනය වාර්තා වී තිබෙනවා.

Your Comments