LTTEයට පක්ෂපාතීවූ වයිකෝට විශේෂ අධිකරණයෙන් වසරක සිර දඬුවම්

17

ඉන්දීය එම්.ඩී.එම්.කේ පක්ෂ ප්‍රධානී 75 හැවිරිදි වයිකෝට තමිල්නාඩුවේ චෙන්නායි හි විශේෂ අධිකරණයක් විසින් වසරක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ඒ LTTE සංවිධානයට පක්ෂපාතීව කටයුතු කිරීම හේතුවෙන්.

2009 දී දකුණු ප්‍රාන්තයේ ඩී.එම්.කේ රජය විසින් වයිකෝ එරෙහිව දේශද්‍රෝහී නඩුවක් ගොනු කළා.

ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ (IPC) 124 A වගන්තිය යටතේ දේශද්‍රෝහී චෝදනාවට වරදකරු වූ වයිකෝ ට රුපියල් 10,000 ක දඩයක් ද නියම කෙරුණා.

කෙසේ වෙතත් වයිකෝගේ ඥාතීන් පවසන්නේ තීන්දුවට එරෙහිව අභියානයක් ගොනු කරන බවයි.

වයිකෝ 2009 දී ‘නාන් කුත්‍රම් සට්ටුගිරන්’ (Naan Kutram Sattugiren) නමින් පොතක් නිකුත් කරමින් කළ කතාවක් සම්බන්ධයෙනුයි පොලිසිය නඩු පවරා තිබුණේ.

ඊලාම් වල මොකද වෙන්නේ (what is happening in Eelam) ලෙසින් නම්කර තිබූ එම දේශනයෙන් වයිකෝ LTTEයට සහය දක්වා තිබුණා.

ඔහු එහි දී අනතුරු ඇඟවූයේ, ඉන්දියාවට එකමුතු රටක් ලෙස සිටීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකාවේ එල්ටීටීඊයට එරෙහි යුද්ධය නතර කළ යුතු බවයි.

ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 124 ඒ වගන්තියෙන් ‘දේශද්‍රෝහී’ සහ 153 ඒ වගන්තියෙන් ආගම, ජාතිය, උපන් ස්ථානය, පදිංචිය, භාෂාව යන හේතුන් මත විවිධ කණ්ඩායම් අතර සතුරුකම ප්‍රවර්ධනය කිරීමට එරෙහිව දඬුවම් දක්වා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම නඩුවේ චෝදනා පත්‍රයක් 2009 දී ගොනු කරන ලද අතර, වයිකෝ 2017 අප්‍රේල් දක්වා අත්අඩංගුවට ගෙන තිබුනේ නැහැ.

එහි දී ද බන්ධනාගාරයට යවනු ලැබූ වයිකෝ මාසයකට වැඩි කාලයක් සිරගතව සිටීමෙන් පසු ඇප මත නිදහස්ව සිටියා.

1978 සිට 1996 දක්වා වසර 18ක් රාජ්‍ය සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ වයිකෝ වසර 23කට පසු ඉහළ මන්ත්‍රී මණ්ඩලයට පැමිණීමට අපේක්ෂා කර සිටී.

රාජ්‍ය සභා මැතිවරණය ජූලි 18 වන දින තමිල්නාඩුවේදී පැවැත්වීමට නියමිතයි.

Your Comments