ගෝඨාභය ඇතුළු 7 දෙනාට ඇප – විදෙස් ගමන් තහනම්

76

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකු ඇප මත මුදාහැරිමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර තිබෙනවා.
ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිමේදී රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අද පෙනී සිටින ලෙසයි විත්තිකරුවන්ට දැනුම්දී තිබුණේ.
ඒ අනුව ඉදිරිපත් වූ විත්තිකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරිර ඇප දෙක බැගින් මත මුදාහැරිමට විනිසුරු මඩුල්ල නියෝග කළ බවයි NEWS24 වාර්තාකරු සඳහන් කළේ.
විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා.
ඒ අනුව සැකකරුවන්ට විදේශ ගමන් ද තහනම් වනවා.
මේ අතර, තරුණයින් 11 දෙනෙකු පැහරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට අද කැඳවා තිබුණා.

Your Comments