අවසන් තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

30

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැති පස්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 178ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ඊයේ පැවති දිවා රාත්‍රී තරගයේ, කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව – පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 299ක් ලබා ගත්තා.

ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු 97යි.

පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාවට පන්දුවාර 24යි පන්දු 4ක දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 121ක් පමණයි.

පන්දු යැවීමේ දී අකිල ධනංජය කඩුලු 6ක් බිඳ හෙලුවා.

තරගයේ වීරයා ලෙස ඔහු සම්මානයෙන් පිදුම් ලැබූවා.

අකිල ධනංජය මෙම තරගයේ දී දැක් වූ දක්ෂතාව, එක්දින තරගයක ඔහුගේ හොඳම පන්දු යැවීම වන අතර, දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු දැක් වූ හොඳම දක්ෂතාවය ද එයයි.

5 වන තරගයේ දී ශ්‍රී ලංකාව ලැබූ ජය, වාර්තා අතරට එක්වන්නේ, දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු පරතරය අතින් ශ්‍රී ලංකාව ලැබූ දෙවන ඉහළම ජයග්‍රහනය ලෙසයි.

එමෙන්ම දකුණු අප්‍රිකාව මෙම තරගයේ දී දැවී ගිය ලකුණු සංඛ්‍යාව, ඔවුන් – ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගයක වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස ද සැලකෙනවා.

හතරවන සහ පස්වන තරග – ශ්‍රී ලංකාව ජය ලැබූවද තරගාවලියේ ජය 3-2ක් ලෙස හිමි වුණේ දකුණු අප්‍රිකාවටයි.

තරගාවලියේ වීරයා ජේ.පී.ඩුමිනි.

තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට හිමි වුවද ඔවුන් එක්දින ජාත්‍යන්තර ශ්‍රේණීගත කිරීම්වල එක් ස්ථානයක් පසු බැස්සා.
ඒ අනුව මේ වනවිට දකුණු අප්‍රිකාවට හිමිව ඇත්තේ එක්දින ජාත්‍යන්තර ශ්‍රේණීගත කිරීම්වල සිව්වන ස්ථානයයි.

ශ්‍රී ලංකාව තවදුරටත් 8වන ස්ථානයේ පසුවනවා.

Your Comments