ජයෙන් පසු මෝදි

44

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි (Narendra Modi) ආදරය සහ පිළිකුල යන දෙක ම සම සම ව ලබන දේශපාලනඥයෙක්.

භාරතීය ජනතා පක්ෂයේ (BJP) නායකයා වන ඔහු දෙවන වරටත් මහ මැතිවරණයෙන් විශිෂ්ට ලෙස ජය ගත්තා.

ආණ්ඩුවේ වෙනසක් අවශ්‍ය බව විශ්වාස කළ ප්‍රතිවාදීන්ට ඔහුගේ ජය දරුණු ප්‍රහාරයක්.

ඉන්දියාව ලෝක ශිෂ්ඨාචාරයේ තොටිල්ල යයි ආචාර්ය ඒ. එල්. බෂාම් ‘අසිරිමත් ඉන්දියාව’ (The Wonder that was India) නම් සුප්‍රකට කෘතියෙහි ලියා තබා වසර හැට පහක් ගතව ඇති මොහොතක එම ඉන්දීය තොටිල්ල පැදවීමේ හස්තය තවත් වතාවක් අගමැති නරේන්ද්‍ර අගමැති මෝදි වෙත පැවරී තිබෙනවා.

මේ ‘දේශපාලන ගමනට’ ශක්තිය ලබා දුන් පිරිවර අමතක නොකිරීම මෝදීගේ විශේෂ ගුණයක්.

ඒ බව පසක් කරමින් මෝදී, එරට හත්වන අගමැති වන ලාල් ක්‍රිෂ්නා අද්වානි (Lal Krishna Advani) හමුවූ අවස්ථාවේ විශේෂ ඡායාරූපයක් ලොව අවධානයට යොමුව තිබෙනවා.

අද්වානි 2002 පෙබරවාරි 05 වනදා සිට 2004 මැයි 22 දක්වා අගමැතිධුරයේ කටයුතු කළා.

අද්වානි, භාරතීය ජනතා පක්ෂයේ සම නිර්මාතෘවරයෙක් මෙන්ම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක්.

අගමැති මෝදී, හිටපු අගමැති අද්වානිගේ දෙපා අල්ලා වැඳ ආශීර්වාද ලබා ගන්නා අයුරු මෝදී තම ට්විටර් ගිණුමේද දක්වා ඇත්තේ මෙලෙසින්.

නරේන්ද්‍ර මෝදිගේ බල සම්පන්නභාවය කැපී පෙනෙන ලෙස ආරම්භවන්නේ 2014 මැයි මාසයේදී ඔහුගේ පක්ෂය ලැබූ විශිෂ්ට ජයත් සමගයි.

එතැන් පටන් වෙනස්කම් රාශියක් ද සහිතව ඔහු ප්‍රවර්ධනය කළ ප්‍රතාපවත් හින්දු ජාතිකවාදී සන්නාමය පමණක් නොව ඉන්දීය නායකයා ලෙස ඔහු ජාත්‍යන්තර කරළියේ පෙනී සිටි ආකාරය ද වෙනස් වුණා.

වසර ගණනාවක් පුරා ඔහු ඇමෙරිකාව, එක්සත් රාජධානිය සහ තවත් රටවල් රැසක දෝෂ දර්ශනයට ද ලක් වූවා.

ඒ, ඔහු 2001 සිට 2014 දක්වා ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයාව සිටි සමයේ මුස්ලිම්වරුන්ට එරෙහිව පැවති මාරාන්තික කැරලි හේතුවෙන්.

ලේ වැගිරීම් නතර කිරීමට හැකියාව තිබූ බවට එල්ල වූ චෝදනා නරේන්ද්‍ර මෝදි නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කළා.

ප්‍රාන්තය ඉන්දියාවේ ආර්ථික බලාගාරයක් බවට පත් කිරීම නිසා ඔහු කාර්යක්ෂම දේශපාලනඥයෙකු ලෙස සැලකිල්ලට බඳුන් වුණා.

මාරාන්තික කැරලි අතරින් ගුජරාට් ප්‍රාන්තයේ ආර්ථිකය සාර්ථකත්වයට ගෙන ආ මෝදි 2014 වසරේදී මහ මැතිවරණයට ඉදිරිපත් වූවා.

ඒ “සබ්කා සාත්, සබ්කා විකාස්” “sabka saath, sabka vikas” (සියල්ල සියලු දෙනා සමග, සියල්ලන්ට සංවර්ධනය) යන තේමා පාඨය සමගින්.

මෙවර, 2019 දී භාරතීය ජනතා පක්ෂය ප්‍රධාන මැතිවරණ තේමාව ලෙස යොදා ගත්තේ, ජාතිකත්වය සහ ජාතික ආරක්ෂාවයි.

මැතිවරණයේ ප්‍රතිඵලය බොහෝ අංශවලින් මෝදි ගේ උපායමාර්ග සහ විශේෂයෙන් ඔහුගේ නායකත්වය සම්බන්ධ ජනමත විචාරණයක්ම විය.

අගමැති මෝදිගේ පළමු වසර 5 බොහෝ සාර්ථකතත්වයන් අත්කර ගත්තා.

අසාර්ථකවීම් ද නැතිවා නොවේ.

ආර්ථික ප්‍රතිසංස්කරණ ගෙන එන බවටත් ඒ තුළින් රැකියා උත්පාදනය කරන බවටත් ඔහු බලයට පත් වීමට පෙර පොරොන්දු වී තිබුණාත් ඒවා සම්පූර්ණයෙන් ඉටු කිරීමට හැකිව නැහැ.

කෙසේ වෙතත් දිළිඳු ජනතාව සඳහා සහන මිලට ගෑස් ලබා දීම, රටට ම බලාත්මක වූ භාණ්ඩ හා සේවා බද්ද, දිළිඳු ජනතාව සඳහා සෞඛ්‍ය රක්ෂණයක් පිරිනැමීම සහ ව්‍යාපාරික බංකොලොත්භාවය සම්බන්ධයෙන් නව නීති හඳුන්වා දීම ඔහුගේ රජය විශේෂ කාර්යයන් අතර කැපී පෙනුනා.

නව තාක්ෂණය සවිබල ගන්වමින් භාරතය නවමු මගකට යොමු කරවීම මෝදිගේ දැවැන්ත ක්‍රියාන්විතයක්.

මහ ආණ්ඩුව අනුව යමින් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරුන්ද විදෙස් සමාගම් සමග නව තාක්ෂණ ගිවිසුම්වලට පවා එළැඹ, එම සමාගම්වල ශාඛා ඒ ඒ ප්‍රාන්තවල පිහිටුවා සෘජු වෙළඳාම් අභියෝගය ජයගෙන තිබෙනවා.

දුෂ්කර ගම්මානවල වැසිකිළි ඉදිකිරීම සඳහා ප්‍රතිපාදන සැපයීමත්, ඒ සඳහා දිරිමත් කිරීමත් සම්බන්ධයෙන් මෝදි දැඩි ලෙස ප්‍රසංශාවට ලක්ව සිටිනවා.

ඇමෙරිකාවේ සහ එක්සත් රාජධානියේ වෙසෙන ඉන්දියානුවන් එක් රැස් කර දේශන පැවැත්වීම මගින් ඔහු ගෝලීය කරළියට ගොඩ වූ බව විශ්ලේෂක මතයයි.

ඔහුගේ විදෙස් ප්‍රතිපත්තිය ද මිශ්‍ර ලක්ෂණ පෙන්වන අතර ඉන්දියාව සහ මධ්‍යම ආසියානු රටවල් අතර සබඳතා යළි ශක්තිමත් කළා.
දූෂණ සහ නීති විරෝධී ලෙස මුදල් ළඟ තබා ගැනීම් වැළැක්වීමේ අරමුණින් රුපියල් 500 සහ 1000 නෝට්ටු තහනම් කිරීමට ගත් ආන්දෝලනාත්මක තීරණය, ඔහුගේ පාලන සමය තුළ භාරතීය ජනතා පක්ෂයේ පාලනය යටතේ පැවති ප්‍රාන්තවල හරක් මස් විකිණීම හා ආහාරයට ගැනීම තහනම් කිරීම, ගුවන් හමුදාව සඳහා Rafale යුද්ධ ගුවන් යානා 36ක් මිල දී ගැනීමට ගත් දැඩි මතභේදාත්මක තීරණය මෙවර භාරතීය ජනතා පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයේදී මතු වූයේ නැහැ.

1950 වසරේ සැප්තැම්බර් 17 ගුජරාට් ප්‍රාන්තයේ Vadnagar හිදී මෙලොව එළිය දුටු නරේන්ද්‍ර මෝදි වෙළෙඳාම ජීවිකාව කර ගත් දරුවන් 6 දෙනෙකුගෙන් යුත් පවුලක 3 වැන්නායි.

ගුජරාට් ප්‍රධාන අමාත්‍යවරයා වූ නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත් වීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් විස්මයට පත්ව සිටියා.

නරේන්ද්‍ර මෝදි පක්ෂ සංවිධායකවරයෙකු ලෙස ප්‍රබල ප්‍රතිරූපයක් ගොඩ නගාගෙන තිබෙනවා.

එමෙන් ම, රාෂ්ත්‍රීය ශිව් සේනා (RSS) සංවිධානයේ ප්‍රචාරකයෙකු ලෙස ලත් පුහුණුව හේතුවෙන් රහස්‍යභාවය පිළිබඳව ද ඔහුට යහපත් ප්‍රතිරූපයක් පවතී.

Your Comments