“ජීවිතය පවා පුද දිය හැකියි – ඒත් රටක් තිබිය යුතුයි – හැබැයි මට දැන් මහන්සියි” (PHOTOs)

451

රට වෙනුවෙන් ජීවිතය පවා පුද දිය හැකි මුත් ජීවිතය පුද දීමට රටක් තිබිය යුතු යැයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසනවා.

ජනාධිපති සමාව ලැබූ උන්වහන්සේ මේ බව අවධාරණය කළේ බන්ධනාගාරයෙන් පිටවගොස් කෝට්ටේ රුක්මල්ගම විහාරස්ථානය වෙත වැඩම කර ආගමික වතවත්වල නිරතවීමෙන් අනතුරුව මාධ්‍යවෙත කරුණු දක්වමින්.

රටට විය හැකි අර්බුදයට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීමෙන් විශාල ලෙස නින්දාවට පත් වු බවත් අවසානයේ තමන් රට පිළබඳ හෙළි කළ කරුණු සත්‍ය වු බවත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පෙන්වා දෙනවා.

ඒ පිළිබඳ ඇත්තේ විශාල වේදනාවක් පමණක් බවයි උන්වහන්සේ සඳහන් කළේ.

රට වෙලාගනිමින් ඇති අන්තවාදය පිළිබඳ දූරදර්ශීව මෙන්ම ඉවසීමෙන් කටයුතු කළ යුතු බවත් උන් වහන්සේ ප්‍රකාශ කළා.

අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ලවූ ඥාණසාර හිමියන්ට  2018 වසරේ අගෝස්තු 18 වනදා බරපතල වැඩසහිත වසර 19ක සිර දඩුවමක් නියම වුණේ එය වසර හයකින් ගෙවී යන ලෙසයි.

කෙසේ වෙතත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වෙත ජනාධිපති සමාව හිමිවුණා.

පූර්ණ නිදහස සහිතව උන්වහන්සේ නිදහස් කරන්නැයි නියෝග කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිර්දේශය අද පස්වරුවේ ලැබුණු බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ජේ.ඩබ්ලිව්.තෙන්නකෝන් මහතා සඳහන් කළා.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන බන්ධනාගාරයෙන් නිදහස් කෙරෙන බව ආරංචිය ලද උන්වහන්සේගේ මව, මහා සංඝරත්නය පෙරටු කොටගෙන තවත් බොහෝ පිරිසක් ද සමග අද පෙරවරුවේ සිට වැලිකඩ බන්ධනාගාරය ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට රැස්ව සිටියා.

මාධ්‍යවේදීන් රැසක් ද එම ස්ථානයේ රැඳී සිටියා.

කෙසේ වෙතත් අද පස්වරුවේ බොදු බල සේනා සංවිධානයේ පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් රැස්ව සිටි පිරිස අමතමින් දන්වා සිටියේ ආරක්ෂක අංශ උපදෙස් පිළිපදිමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බන්ධනාගාරයේ වෙනත් දොරටුවකින් පිට ගොස් ඇති බවයි.

ඥාණසාර හිමියන් පුජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් මුණගැසීම සඳහා පිටත්ව ගොස් ඇතැයි බවයි එහිදී දැන ගන්නට ලැබුණේ.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුව අවසන් වීමෙන් පසු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී කලහකාරී ලෙස හැසිරීමෙන් ඥානසාර හිමියන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇත්දැයි විභාග කරන ලෙසට ඉල්ලා සිටියේ එවක හෝමාගම මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ වත්මන් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතායි.

ඒ අනුව අභියාචනාධිකරණය විසින් මීට පෙර කරන ලද නියෝගයකට අනුව නීතිපතිවරයා විසින් ද ඥාණසාර හිමියන්ට එරෙහිව චෝදනා 4ක් යටතේ නඩු ගොනු කර තිබුණා.

මීට පෙර මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට බැණ තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට නියම කර තිබූ මාස 6ක සිර දඩුවම වසර 5කට අත්හිටුවීමට ද හෝමාගම මහාධිකරණය පසුගියදා නියෝග කළා.

ඒ, මෙම සිර දඩුවමට එරෙහිව ඥාණසාර හිමියන් ඉදිරිපත් කර තිබූ අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.

ජනපති සමාව ලබා නිදහස්ව කෝට්ටේ රුක්මල්ගම විහාරස්ථානයට වැඩම කොට ආගමික වතවත්වලින් පසු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මේ වන තෙක් රට වෙනුවෙන් කටයුතු කළ තමන් වහන්සේට දැඩි වෙහෙසක් දැනෙන බැවින් ඉදිරියේ දී ආගමානුකූලව ශාසනික දිවියක් ගත කිරීමට අදහස් කරන බවයි.

   

Your Comments