‘බැඳ දැමු’ අස්ථි කොටස් දෙකක් මන්නාරමෙන් මතුවෙයි
(වවුනියාව - මාධව කුලසූරිය)

71

කිසියම් ද්‍රව්‍යයකින් එක්ව සිටින ආකාරයට බැඳ  තිබෙන ආකාරයේ අස්ථි කොටස් දෙකක් මන්නාරම, සමූහ මිනිවල තුළින් හමුව තිබෙනවා.

විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ මහතා පැවසුවේ එම අස්ථි කොටස මන්නාරම මහේස්ත්‍රත්වරයාගේ අවධානයට යොමු කර ඇති බවයි.

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනිවළ තුළින්  ඊයේ (06) දහවල් ඒවා හමුවුතිබෙනවා.

මිනිස් සිරුරු 266කට අදාළ අස්ථි කොටස් මේ දක්වා ක්‍රමානුකූලව මතුකර ගැනීමට හැකිවි ඇති අතර, ඉන් සිරුරු 260 කට අදාළ කොටස් කැනීම් මගින් ඉවත් කර ගැනීමට හැකිවි තිබෙනවා.

පළමු හා දෙවන අදියර යටතේ වලෙන්  පස් ඉවත් කිරීම සිදුකොට ඇති අතර, තවදුරටත් පරීක්ෂණ පවත්වන සීමාව විශාල කිරීම සිදුකිරීමට අවශ්‍ය වනු ඇතැයිද රාජපක්ෂ මහතා පවසනවා.

ගොඩගත් සිරුරු 260 කට අදාළ අස්ථි ‍මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැන්පත් කොට ඇතිබෙනවා.

අස්ථි කොටස් කාබන් පරීක්ෂා කිරීමක් වෙනුවෙන් ෆ්ලෝරිඩාවේ  රසායනාගාරයක් වෙත යැවීමට නියමිතයි.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබුවා.

මන්නාරම පොලිසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජා මහතාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කළා.

පුරාවිද්‍ය නිළධාරීන්, රජයේ රස පරීක්ෂක නිළධාරීන්, අධිකරණ වෛද්‍ය නිළධාරීන්ගේ මෙහෙයවීම යටතේ මේ වනවිට දින 112 ක කාලයක් අදාළ ස්ථානයේ  පරීක්ෂණ සිදු කර තිබෙනවා.

මන්නාරම නව මහේස්ත්‍රාත් ටි.සරවනරාජා මහතාගේ නියෝග යටතේ පුරාවිද්‍යා විමර්ශන මහාචාර්ය රාජ් සෝමදේව මහතා හා විශේෂඥ අධිකරණ වෛද්‍ය සමීන්ද්‍ර රාජපක්ෂ මහතා, මන්නාරම පොලිස් නිළධාරීන්, මන්නාරම අධිකරණ නිළධාරීන්, රජයේ රස පරීක්ෂක නිළධාරීන්ගේ සහයෝගය යටතේ පරීක්ෂණ  ක්‍රියාත්මකයි.

වර්තමාන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතුවලට එක්වු කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව සම්බන්ධ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගෙන් විමසීමේදී සෝමදේව මහතා පැවසූවේ මන්නාරම සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමුවු මිනිස් අස්ථි සම්බන්ධයෙන් නිශ්චිත කාල නීර්ණයක් මෙතෙක් සිදුකොට නොමැති බවයි.

අදාළ අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී එක් කොටසක කිසියම් නිශ්චිත ආකාරයට ක්‍රමානුකූලව අස්ථි කොටස් පවතින බවත්, තවත් ස්ථානයකින් හමුවු අස්ථි කොටස් අක්‍රමවත් ආකාරයට තැන්පත් කොට තිබෙන බවද හෙතෙම සදහන් කළා.

Your Comments