හලාවත සාමකාමීයි – අබ්දුල් හමීඩි අත්අඩංගුවට – පොලිස් ඇඳිරි නීතිය පැය දෙකකින් අඩු කෙරෙයි

696

හලාවත නගර සීමාව ට පැනවූ පොලිස් ඇඳිරි නීතිය පැය දෙකකින් අඩු කර තිබෙනවා.
ඒ අනුව හෙට (13) පෙරවරු 6.00 දක්වා පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය හෙට පෙරවරු 4.00 දක්වා ක්‍රියාත්මකයි.
ප්‍රදේශයේ තත්ත්වය සාමකාමි හා සාමාන්‍ය අතට පත්ව ඇති බැවින් එම කාලය අඩු කරනු ලැබු බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

හලාවත නොසන්සුන්තාව ඇති කිරීමට මුල් වූ පුද්ගලයා අත්අඩංගුවට ගැනුණා.
සැකකරු හලාවත බසාර් වීදියේ පදිංචි 38 හැවිරිදි අබ්දුල් හමීඩි මොහොමඩ් නැමැත්තා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

මෙම සැකකරු ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැර තිබූ බවත් ඒ පිළිබඳ නගරයේ පිරිසක් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ගිය බවත් කියැවෙනවා.

එම ආරංචිවල සඳහන් වන්නේ ඊට පොලිසියේ නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බවක්.

ඒ අනුව මේ පිළිබඳ විමසා බැලීමට පොලිසියට ගිය පිරිස සැකකරු සොයා පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේ එය නොසන්සුන්කාරී තත්වයක් දක්වා දුරදිග ගොස් තිබුණා.

සැකකරුට අයත් හලාවත නගරයේ රෙදිපිළි වෙළදසැලට ජනතාව එක් රැස් වීම නිසා නොසන්සුන්තාව හට ගත්තා.

කෙසේ වෙතත් ආරක්ෂක අංශ මැදිහත්වීම හමුවේ තත්වය පාලනය කර තිබෙනවා.

පොලිසිය, පොලිස් විශේෂ බලකාය හා ත්‍රිවිධ හමුදාව හලාවත නගරයේ සාමය ආරක්ෂ කිරිම සඳහා යොදවා ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

මේ අතර අද මාධ්‍ය හමුවේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා තවත් කරුණු රැසක් අනාවරණ කළා.

ඊයේ (11) පස්වරුවේ ගල්කිස්සේ දී අවි ආයුධ සමග ත්‍රස්තවාදීන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි සමාජ මාධ්‍ය තුළ තොරතුරක් සංසරණය වුණා.

නමුත් සිදුව ඇත්තේ විදේශිය මුදල් ලංකාවේ මුදල් සමග හුවමාරු කිරිමේ ජාවාරමක නිරත පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමයි.

මෙය ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධයක් නොමැති බව රුවන් ගුණසේකර මහතා පවසනවා.

ගල්කිස්ස, කිරුළපන,කොහුවල හා කලුතර දී පුද්ගලයින් හතර දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරුවන් සතුව තිබී රුපියල් මිලියන 2.5 ක් සහ මොටර් රථ දෙකක් පොලිස් භාරයට ගැණුනා.

මේ අතර කලුබෝවිල රෝහලේ වෛද්‍ය ශිෂ්‍යයින් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගැනීමක් පිළිබද පැතිර යන තොරතුර සාවද්‍ය බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර 13 වන දින එනම් හෙට දින පිළිබඳ තහවුරු නොවු තොරතුරක් ද වාර්තා වූවා.

එලෙසින් ලැබෙන තොරතුරු කිසිසේත්ම බැහැර නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියා.

කෙසේ වෙතත් පිළිබද උපරිම පරික්ෂා කිරිම් කරන බවයි හෙතෙම අවධාරණය කළේ.

සබැඳි පුවත්

හලාවත නොසන්සුන්තාවට හේතුව මෙන්න

UPDATE: හලාවතට පොලිස් ඇඳිරි නීතිය පැනවෙයි

Your Comments