හම්බන්තොට තෙල් පිරිපහදුවට ඕමානයේ සහය නැතිනම් ඇමති එනවද?

333

හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතියට ඕමානයේ සහය නොලැබෙන්නේ නම් එරට ඛනිජ තෙල් හා ස්භාවික වායු පිළිබඳ අමාත්‍ය ආචාර්ය අල් – රූමි මෙරටට පැමිණියේ කුමකටදැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විරුද්ධ පක්ෂයෙන් විමසා සිටිනවා.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ ‘හම්බන්තොට උදාව’ දැවැන්ත ආයෝජන ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සව සභාව අමතමින්.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ඕමානයේ ඛනිජ තෙල් හා ස්භාවික වායු පිළිබඳ අමාත්‍ය Mohammed bin Hamad Al Rumhy ගේ සහභාගීත්වයෙන් හම්බන්තොට උදාව දැවැන්ත ආයෝජන ව්‍යාපෘතියට මුල්ගල තැබුණා.

අමාත්‍ය ආචාර්ය මොහොමඩ් අල් – රූමි ඕමානයේ ඛනිජ තෙල් හා ස්භාවික වායු පිළිබඳ අමාත්‍යධුරයේ වසර 21ක්ම කටයුතු කරන බවයි සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ.

ඒ අනුව ඕමානයේ සහය ඇතිව හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම තුළින් සෘජු රැකියා අවස්ථා 1500ක් සහ වක්‍ර රැකියා අවස්ථා 3000ක් හම්බන්තොට ජනතාවට හිමිවන බවද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නා.

රුපියල් කෝටි හැත්තෑ දෙදහසකට අධික මුදලක් වියදම් කරමින් ඉදි කෙරෙන හම්බන්තොට උදාව, මෙරට විශාලතම ආයෝජන ව්‍යාපෘතිය ලෙස සැලකෙන අතර මෙහි මූලික අදියර යටතේ දැවැන්ත තෙල් පිරිපහදුවක් සහ සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ඉදිකෙරෙනු ඇති.

ඒ හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේදීයි.

ව්‍යාපෘතියේ කටයුතු අද ආරම්භ කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 70වන ජන්ම දිනයට සමගාමීවයි.

Your Comments