නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ද ප්‍රථම වතාවට සේනා දළඹුවන් හමුව තිබෙනවා.

ඒ හැටන් රුවන්පුර ජනපදයෙන්.

රුවන්පුර ගම්මානයේ ජනතාව කෘෂිකර්මාන්තය ප්‍රධාන ජිවනෝපායක් ලෙස සිදු කරන අතර, එම ගොවින් එළවළු මෙන්ම තේ වගාවේ ද නිරතවනවා.

ගම්මානයේ ගොවියෙක් ඔහුගේ වගා භුමියේ ගෝවා, අමු මිරිස් වගාව සිදු කරන අතරතුර අමතර ආදායමක් වශයෙන් බඩ ඉරිඟු ද වගා කර තිබෙනවා.

දින කිහිපයක සිට බඩ ඉරිඟු ගස් කිසියම් කෘමියෙකු විනාශ කරන බවට ඔහුට දැක ගන්නට ලැබී තිබුණා.

ඒ පිළිබඳ සොයා බැලිමේදි බඩ ඉරිඟු ගස් වල සේනා දළඹුවන් සහ සේනා දළඹු බිත්තර ඇති බවට තහවුරු වුණා.

හැටන් රුවන්පුර ප්‍රදේශයෙන් සේනා දළඹුවා හමු වීමත් සමගම, සේනා දළඹුවන් එළවළු වගාවට සහ තේ වගාවට ව්‍යාප්ත විමේ අවදානමක් පවතින බවයි ගොවින් කියා සිටින්නේ.

හැටන් සහ නුවරඑළිය ප්‍රදේශයේ රජයේ සහ සහ පෞද්ගලික අංශයෙන් පවත්වාගෙන යන සත්ත්ව ගොවිපොල ගවයන්ට ආහාර පිණිස, පිට පළාත් වලින් දිනපතා ලොරි රථ වලින් බඩ ඉරිඟු ගස් ප්‍රවහනය කෙරෙනවා.

එම බඩ ඉරිඟු ගස් මගින් සේනා දළඹුවන් හැටන් ප්‍රදේශයට ව්‍යාප්ත වන්නට ඇති බවයි රුවන්පුර ජනපදයේ ගොවින් සැක කරන්නේ.

යාපනය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට පමණක් මෙම දළඹුවා ව්‍යාප්ත වී නොමැති බවයි මීට පෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් සේනා දළඹුවා හමුවූ ප්‍රථම අවස්ථාව මෙය වනවා.

(හැටන් – රංජිත් රාජපක්ෂ)

Your Comments