සහරාන් මිය ගිය බව රජය තහවුරු කරයි

902

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සැලසුම් කළ මොහොමඩ් කාසීම් මොහොමඩ් සහරාන් නැමති පුද්ගලයා ෂැන්ග්‍රි-ලා බෝම්බ ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බව රජය අද තහවුරු කළා.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙරට සියලු ජනමාධ්‍ය ආයතන හිමිකරුවන් සහ ඒවායේ ප්‍රවෘත්ති ප්‍රධානීන් අතර කොටුව ජනාධිපති මන්දිරයේදී පැවති සාකච්ඡාවකදීයි.

සරහාන් නැමති පුද්ගලයා මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු ලෙස ෂැන්ග්‍රි-ලා හෝටලය තුළ මිය ගොස් ඇතැයි බුද්ධි තොරතුරුවලට අනුව අනාවරණ කර ගත් බවයි මෙම සාකච්ඡාවට සහභාගී වූ ශ්‍රී ලංකා යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ජාලය සමග සම්බන්ධතා පවත්වන තවත් ශ්‍රී ලාංකික අන්තවාදීන් 130ක් පමණ හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනිම සඳහා කටයුතු කරමින් සිටින බවයි.

ලෝක මත් ද්‍රව්‍ය ජාවාරම් ජාලය නිරතුරුව ත්‍රස්තවාදී ජාලයන් සමග සම්බන්ධ වී ඇති බව පැහැදිලි කළ ජනාධිපතිවරයා මත් ද්‍රව්‍ය වලට එරෙහිව තමා සහ කාදිනල්තුමා ගෙන ගිය දැවැන්ත වැඩසටහන හමුවේ ශ්‍රී ලංකාව කෙරෙහි ත්‍රස්තවාදීන්ගේ ඇස යොමු වූ බවට බරපතල සැකයක් පවතින බව ද අවධාරණය කළා.

රටවල් අස්ථාවර කිරීමේ දේශපාලන න්‍යාය පත්‍රයක් ද අයි.එස් සටන්කාමීන් සතුව පවතින බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ.

තමා සහ වත්මන් ආණ්ඩුව අතර විරසකය සඳහා ද ප්‍රධාන හේතුවක් වූයේ බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් තමා දැරූ මතය බව ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

Your Comments