“සමෘද්ධිය සුදුස්සාටමයි” – ආණ්ඩුව ජෙරී නොදැක්කා ද ? (VIDEO)

46

සමෘද්ධි සහනාධාරය ඉල්ලා සිටියත් නිලධාරීන් ඊට ප්‍රතිචාරයක් නොදක්වන බව ගාල්ල, හිනිදුම, මල්හතාව ග්‍රාමයේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයෙකු පවසනවා.

ඔහු 58 හැවිරිදි ජෙරී වාසුදේව මහතායි.

හිනිදුම මල්ලිකා නවෝද්‍යා විදුහල් ක්‍රීඩාංගනයේ දී පසු ගිය 21 වනදා පස්වරුවේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මල්හතාව ඇතුළු අවට ප්‍රදේශවල බොහෝ පිරිසක් වෙනුවෙන් සමෘද්ධි සහනාධාර හිමිකම් පිරි නමා තිබෙනවා.

සමෘද්ධි සහනාධාරය ලබා ගැනීම සඳහා ඉල්ලීම් කර තිබුනත් කිසිදු නිලධාරියෙකුගෙන් ඊට අවස්ථාවක් නොලද හෙයින් මේ පිළිබඳ අගමැතිවරයා දැනුම්වත් කිරීමේ අපේක්ෂාවෙන් ජෙරී වාසුදේව මහතා ඉතා අපහසුවෙන් වුවද හිනිදුම මල්ලිකා නවෝද්‍යා විදුහල් ක්‍රීඩාංගනය අසළට ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් එම උත්සව භූමියට ඇතුළුවීමට අවසරයක් නොලද බවයි ජෙරී වාසුදේව මහතා පවසන්නේ.

වත්මන් ආණ්ඩුව සමෘද්ධි සහනාධාරය පිරිනමන්නේ සුදුස්සාටම බවට මේ දිනවල ආණ්ඩුවේ ඉහළ පිරිස් මාධ්‍ය ඔස්සේ කරුණු දක්වන බැවින්, ඒ අනුව සමෘද්ධි සහනාධාරය ලබා දෙන ලෙසයි ජෙරී වාසුදේව මහතා ඉල්ලා සිටින්නේ.

1955 වසරේ දී කුඩාම දරුවෙකු ලෙසට හිනිදුම කල්වාරි දේවස්ථානය වෙත, ගෝනපිනුවල මඩමෙන් ලබා දි තිබුන ජෙරී වාසුදේව, එවක හිනිදුම කල්වාරි දේවස්ථානයේ වැඩ සිටි සිරිල් එදිරිසිංහ පියතුමා විසින් ඇති දැඩි කර තිබෙනවා.

දේවස්ථානයට ජෙරී වාසුදේව ලබා දෙන විටත් පාදයක දණහිසෙන් පහළ අහිමි වී සිට ඇත්තේ කබරෙකු විසින් පාදය සපා කෑමෙන් බවයි කියවෙන්නේ.

ඒ, ජෙරී උපන් මොහොතේ ඔහුගේ මව විසින් ජෙරී, කැලයක අත හැර දැමීමක් හේතුවෙන් බවටයි දැන ගන්නට ඇත්තේ.

තරුණ වියට එළැඹි ජෙරී ට පියතුමන්ලාගේ සහයෝගයෙන් නිවසක් සාදා විවාහයක්ද සිදුකර දී තිබෙනවා.

ජෙරී වාසුදේව එක් දරු පියෙක්. බිරිඳ ද අසනීපයෙනි.

ඉතා අසරණ තත්වයේ පසුවන ජෙරී වාසුදේව මහතා, පසුගියදා අග්‍රාමාත්‍යවරයා විසින් සමෘද්ධි සහනාධාර හිමිකම් ලබා දෙන ස්ථානයට ගියත්, එහි සිටි ආරක්ෂකයන් ඊට අවසර ලබා නොදුන් බව බව ඔහු සඳහන් කළේ කඳුළු පිරුණු දෙනෙතින්.

සමෘද්ධි සහනාධාර ලබාදෙන ලෙස ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

(නෙළුව – සිරිසේන ගමගේ / මාපලගම – ගුණපාල කාරියවසම් )

සුදුස්සාටම සමෘද්ධිය දෙන බව කියන ආණ්ඩුව ජෙරී නොදැක්කා ද ?

සුදුස්සාටම සමෘද්ධිය දෙන බව කියන ආණ්ඩුව ජෙරී නොදැක්කා ද ?

Posted by News24 on Sunday, June 23, 2019

 

Your Comments